මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.2. සබ්බාසව සුත්තං

1.1.2. හැම ආශ්‍රවයන් ගැන ම වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

සබ්බාසවසංවරපරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි, තං සුණාථ, සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, හැම ආශ්‍රවයන්ම සංවර කරගන්නට උපකාරී වන කරුණු තමයි මා ඔබට දැන් කියා දෙන්නෙ. ඉතින් ඔබ මෙය ඉතා හොඳින් අහගෙන ඉන්න. නුවණින් තේරුම් ගන්න. මා දැන් කියා දෙන්නම්.” “එහෙමයි ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි. නෝ අජානතෝ, නෝ අපස්සතෝ. කිඤ්ච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං ඛයෝ හෝති? යෝනිසෝ ච මනසිකාරං අයෝනිසෝ ච මනසිකාරං. අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති. යෝනිසෝ ච ඛෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති. 

“පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කිරීම ගැන මා කියා දෙන්නෙ දැනගන්න කෙනාටත්, දැකගන්න කෙනාටත් විතරයි. එහෙම නැතිව දන්නෙ නැති, දකින්නෙ නැති කෙනාට නෙවෙයි. පින්වත් මහණෙනි, මොකක් දැනගන්න, මොකක් දැකගන්න කෙනාගෙ ද ආශ්‍රවයන් ක්ෂය වෙන්නෙ? යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්න, දැකගන්න කෙනාගේ තමයි ආශ්‍රවයන් නැති වෙන්නෙ. 

පින්වත් මහණෙනි, හට නොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝ මනසිකාරයෙන් තමයි හටගන්නෙ. හටගෙන තියෙන ආශ්‍රවයනුත් වර්ධනය වෙනවා. එහෙත් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනා තුළ නූපන් ආශ්‍රවයන් හටගන්නෙත් නෑ. හටගෙන තියෙන ආශ්‍රවයන් පවා නැතිවෙලා යනවා.

අත්ථි භික්ඛවේ ආසවා දස්සනා පහාතබ්බා, අත්ථි ආසවා සංවරා පහාතබ්බා, අත්ථි ආසවා පටිසේවනා පහාතබ්බා, අත්ථි ආසවා අධිවාසනා පහාතබ්බා, අත්ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්ථි ආසවා විනෝදනා පහාතබ්බා,  අත්ථි ආසවා භාවනා පහාතබ්බා. 

පින්වත් මහණෙනි, ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන දර්ශනයෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන සංවර වීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන නුවණින් යුක්තව පාවිච්චි කිරීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්න ඕන වීරියෙන් යුක්තව ඉවසීමෙනුයි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන බැහැර කිරීමෙන් ම යි. තව ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන දුරු කිරීමෙන් ම යි. තවත් ආශ්‍රව ජාතියක් තියෙනවා, ඒවා නැති කරන්නට ඕන සමථ විදර්ශනා භාවනාවෙන් ම යි.

කතමේ ච භික්ඛවේ ආසවා දස්සනා පහාතබ්බා? ඉධ භික්ඛවේ අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ. මනසිකරණීයේ ධම්මේ නප්පජානාති, අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති, සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ, යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති, යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති.

(දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, දර්ශනයෙන් නැති කරල දාන්නෙ කොයි ආශ්‍රව ද? පින්වත් මහණෙනි, මේ ගැන කියද්දි, අශ්‍රැතවත් පෘථග්ජනයා ගැනත් දැන ගෙන ඉන්න ඕන. මේ තැනැත්තා ආර්යයන් වහන්සේලා හඳුනන්නෙ නෑ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයක හික්මෙන්නෙත් නෑ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙ නෑ. සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නෑ. 

ඉතින්, මේ අශ්‍රැතවත් පෘථග්ජනයා නුවණින් සිහි කරන්න ඕන මොනවා ද කියල දන්නෙ නෑ. සිහි නොකළ යුත්තේ මොනව ද කියල දන්නෙත් නෑ. මේ විදිහට මේ පුද්ගලයා නුවණින් සිහිකරන්න ඕන දේ දන්නෙ නැති නිසා, සිහිකරන්න හොඳ නැති දේත් දන්නෙ නැති නිසා කරන්නෙ මේකයි. යම් දෙයක් සිහි නොකළ යුතු නම්, ඒක තමයි සිහි කරන්නෙ. හැබැයි යම් දෙයක් සිහි කළ යුතු නම්, ඒක සිහි කරන්නෙ නෑ.

කතමේ ච භික්ඛවේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති?  යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ උප්පජ්ජති, උප්පන්නෝ වා කාමාසවෝ පවඩ්ඪති. අනුප්පන්නෝ වා භවාසවෝ උප්පජ්ජති, උප්පන්නෝ වා භවාසවෝ පවඩ්ඪති. අනුප්පන්නෝ වා අවිජ්ජාසවෝ උප්පජ්ජති, උප්පන්නෝ වා අවිජ්ජාසවෝ පවඩ්ඪති. ඉමේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. 

පින්වත් මහණෙනි, සිහි කරන්න හොඳ නැතිවුනත්, අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් සිහි කර කර ඉන්න දේ මොකක් ද? 

පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරන කොට, නැති කාම ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන කාම ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නැති භවාශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන භව ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නැති අවිද්‍යා ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, අන්න ඒවා තමයි සිහිකරන්න හොඳ නැත්තෙ. නමුත් අශ්‍රැතවත් පෘථග්ජනයා සිහි කරන්නෙ ඒවා ම යි.

කතමේ ච භික්ඛවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ න මනසිකරෝති? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ න උප්පජ්ජති, උප්පන්නෝ වා කාමාසවෝ පහීයති. අනුප්පන්නෝ වා භවාසවෝ න උප්පජ්ජති, උප්පන්නෝ වා භවාසවෝ පහීයති. අනුප්පන්නෝ වා අවිජ්ජාසවෝ න  උප්පජ්ජති, උප්පන්නෝ වා අවිජ්ජාසවෝ පහීයති. ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ න මනසිකරෝති. 

පින්වත් මහණෙනි, නුවණින් සිහි කළ යුතු ම වුනත්, අශ්‍රැතවත් 

පෘථග්ජනයා විසින් සිහි නොකර ඉන්න දේ මොකක් ද? 

පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණින් සිහි කරන කොට, නූපන් කාම ආශ්‍රවයන් උපදින්නෙ නැත්නම්, තියෙන කාම ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, නූපන් භවාශ්‍රවයන් උපදින්නෙ නැත්නම්, තියෙන භව ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් උපදින්නෙ නැත්නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, අන්න ඒවා තමයි නුවණින් සිහිකරන්න ඕන. නමුත් අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් සිහි නොකරන්නෙත් ඒවා ම යි.

තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුප්පන්නා චේව ආසවා උප්පජ්ජන්ති උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති. 

ඉතින්, සිහිකරන්න හොඳ නැති දේ සිහි කර කර ඉන්න, නුවණින් සිහි කරන්න ඕන දේ සිහි කරන්නෙ නැති, අශ්‍රැතවත් පෘථග්ජනයාට නූපන් ආශ්‍රවයන් පවා උපදිනවා. තියෙන ආශ්‍රවයන් පවා වැඩි වෙලා යනවා.

සෝ ඒවං අයෝනිසෝමනසිකරෝති, අහෝසිං නු ඛෝ අහං අතීතමද්ධානං, න නු ඛෝ අහෝසිං අතීතමද්ධානං, කිං නු ඛෝ අහෝසිං අතීතමද්ධානං, කථං නු ඛෝ අහෝසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං අහෝසිං නු ඛෝ අහං අතීතමද්ධානං. භවිස්සාමි නු ඛෝ අහං අනාගතමද්ධානං, න නු ඛෝ භවිස්සාමි අනාගතමද්ධානං, කිං නු ඛෝ භවිස්සාමි අනාගතමද්ධානං, කථං නු ඛෝ භවිස්සාමි අනාගතමද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි නු ඛෝ අහං අනාගතමද්ධානන්ති. ඒතරහි වා පච්චුප්පන්නං අද්ධානං අජ්ඣත්තං කථංකථී හෝති, අහං නු ඛොස්මි, නෝ නු ඛොස්මි, කිං නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛෝ සත්තෝ කුතෝ ආගතෝ, සෝ කුහිං ගාමී භවිස්සතීති.

ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නෙ මෙහෙමයි. 

‘ඉස්සර මං ඉඳල තියෙනවා ද? ඉස්සර මං ඉඳල නැද්ද? ඉස්සර මං හිටියා නම් කවුරු වෙලා ඉන්න ඇද්ද? ඉස්සර මං හිටියා නම් කොයි විදිහට ඉන්න ඇද්ද? ඉස්සර මං කවුරු කවුරු විදිහට ඉන්න ඇද්ද? 

අනාගතේ මං ඉඳීවි ද? අනාගතේ මං ඉන්න එකක් නැද්ද? අනාගතේ මං කවුරු වෙලා ඉඳීවි ද? අනාගතේ මං කොහොම ඉඳීවි ද? අනාගතේ මං කවුරු කවුරු වෙලා ඉඳීවි ද?’ 

ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ වර්තමාන කාලෙ පවා තමන් ගැන ‘අරක කොහොම ද? මේක කොහොම ද?’ කියන ස්වභාවය තමයි තියෙන්නෙ. ‘ඇත්තෙන් ම මං ඉන්නවා ද? මං නැද්ද? මං කවුද? මං කොහොම කෙනෙක් ද? ඇත්තෙන් ම මේ සත්වයා ඇවිත් ඉන්නෙ කොහේ ඉඳල ද? ඊට පස්සේ කොහේ යාවි ද?’

තස්ස ඒවං අයෝනිසෝමනසිකරෝතෝ ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති, අත්ථි මේ අත්තාති වාස්ස සච්චතෝ ථේතතෝ දිට්ඨි උප්පජ්ජති, නත්ථි මේ අත්තාති වාස්ස සච්චතෝ ථේතතෝ දිට්ඨි උප්පජ්ජති, අත්තනාව අත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතෝ ථේතතෝ දිට්ඨි උප්පජ්ජති, අත්තනාව අනත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතෝ ථේතතෝ දිට්ඨි උප්පජ්ජති, අනත්තනාව අත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතෝ ථේතතෝ දිට්ඨි උප්පජ්ජති, අථ වා පනස්ස ඒවං දිට්ඨි හෝති. යෝ මේ අයං අත්තා වදෝ වේදෙය්‍යෝ තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම්මානං විපාකං පටිසංවේදේති, සෝ ඛෝ පන මේ අයං අත්තා නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාමධම්මෝ සස්සතිසමං තථේව ඨස්සතීති. ඉදං වුච්චති භික්ඛවේ දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරෝ දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයෝජනං. දිට්ඨිසංයෝජනසංයුත්තෝ භික්ඛවේ අස්සුතවා පුථුජ්ජනෝ න පරිමුච්චති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ඔය විදිහට වැරදි පිළිවෙලට හිත හිත ඉන්න නිසා මෙන්න මේ දෘෂ්ටි හයෙන් මොකක් හරි දෘෂ්ටියක් ඔහු තුළ ඇති වෙනවා. 

1. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මට ආත්මයක් තියෙනවා’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි. 

2. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මගේ ආත්මය නැති වෙලා යන එකක්’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි. 

3. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘ආත්මයකින් තමයි මං ආත්මය හඳුනගන්නෙ’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි.  

4. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘ආත්ම නොවන දෙය මං හඳුනගන්නෙ ආත්මයක් තුළින්’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි. 

5. අශ්‍රැතවත් පෘථග්ජනයාට ‘මං ආත්මය හඳුනාගන්නෙ අනාත්මයක් තුළින්’ කියන දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේ ම යි. ස්ථිර දෙයක් වගේ ම යි. 

6. අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ විදිහේ දෘෂ්ටියකුත් ඇති වෙනවා. ‘කතා බස් කරන, සැප දුක් විඳින, ආත්මයක් මා තුළ තියෙනවා. ඒ ඒ තැන හොඳ නරක කර්ම විපාක විඳින්නෙ ඒ ආත්මයෙන් තමයි. ඉතින්, මා තුළ තියෙන ඒ ආත්මය නිත්‍ය එකක්. ස්ථිර එකක්. සාදාකාලික එකක්. වෙනස් නොවන ස්වභාවයෙන් යුක්ත එකක්. හැමදාම එක ම විදිහට තියෙන එකක්’ කියලා.

පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නෙ දෘෂ්ටිගත වෙනවා කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටිවලට හිර වෙලා යනවා කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි කාන්තාරය කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි හුල කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි කම්පන කියල. මේකට තමයි කියන්නෙ දෘෂ්ටි බන්ධනය කියල. 

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා මේ විදිහට දෘෂ්ටි බන්ධනයත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඉපදීමෙන් නිදහස් වෙන්නෙ නෑ. ජරා මරණයෙන් නිදහස් වෙන්නෙ නෑ. ශෝක වලින්, වැළපීම් වලින්, කායික දුක් වලින්, මානසික දුක් වලින්, සුසුම් හෙළීම් වලින් නිදහස් වෙන්නෙ නෑ. ඒ පුද්ගලයා කිසිම දුකකින් නිදහස් වෙන්නෙ නෑ කියලයි කියන්න තියෙන්නෙ.

සුතවා ච ඛෝ භික්ඛවේ අරියසාවකෝ අරියානං දස්සාවී අරියධම්මස්ස කෝවිදෝ අරියධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කෝවිදෝ සප්පුරිසධම්මේ සුවිනීතෝ මනසිකරණීයේ ධම්මේ පජානාති,  අමනසිකරණීයේ ධම්මේ පජානාති, සෝ මනසිකරණීයේ ධම්මේ පජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ පජානන්තෝ, යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති, යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. 

(ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා)

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. මොහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හොඳින් හික්මෙනවා. සත්පුරුෂයන් වහන්සේලාව හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හොඳින් හික්මෙනවා. 

ඉතින් මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් සිහි කරන්න ඕන මොනවා ද කියල දන්නවා. සිහි කරන්න හොඳ නැත්තෙ මොනවා ද කියලත් දන්නවා. මේ විදිහට මේ පුද්ගලයා නුවණින් සිහි කරන්න ඕන දේවල් දන්න නිසා, සිහි කරන්න හොඳ නැති දේවලුත් දන්න නිසා, යම් දෙයක් සිහි කරන්න හොඳ නැත්නම්, ඒ දේ සිහි කරන්නෙ නෑ. යම් දෙයක් සිහි කළ යුතු නම්, ඒ දේ විතරයි සිහි කරන්නෙ.

කතමේ ච භික්ඛවේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ න මනසිකරෝති?  යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ උප්පජ්ජති, උප්පන්නෝ වා කාමාසවෝ පවඩ්ඪති. අනුප්පන්නෝ වා භවාසවෝ උප්පජ්ජති, උප්පන්නෝ වා භවාසවෝ පවඩ්ඪති. අනුප්පන්නෝ වා අවිජ්ජාසවෝ උප්පජ්ජති, උප්පන්නෝ වා අවිජ්ජාසවෝ පවඩ්ඪති. ඉමේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ න මනසිකරෝති. 

පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරන්නෙ නැත්නම් ඒ සිහිකරන්නට හොඳ නැති දේ මොනවා ද? පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරද්දී නූපන් කාම ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන කාම ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නූපන් භවාශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන භව ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, අන්න ඒවා තමයි සිහි කරන්න හොඳ නැත්තේ. ඒ නිසා ම යි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඒවා සිහි නොකරන්නෙ.

කතමේ ච භික්ඛවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ න උප්පජ්ජති, උප්පන්නෝ වා කාමාසවෝ පහීයති. අනුප්පන්නෝ වා භවාසවෝ න උප්පජ්ජති, උප්පන්නෝ වා භවාසවෝ පහීයති. අනුප්පන්නෝ වා අවිජ්ජාසවෝ න  උප්පජ්ජති, උප්පන්නෝ වා අවිජ්ජාසවෝ පහීයති. ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. 

පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරනවා නම් එසේ නුවණින් සිහි කරන්න ඕන දේ මොනවා ද? 

පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණින් සිහි කරන කොට, නූපන් කාම ආශ්‍රවයන් ඇතිවෙන්නෙ නැත්නම්, තියෙන කාම ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, නූපන් භව ආශ්‍රවයන් ඇතිවෙන්නෙ නැත්නම්, තියෙන භව ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් ඇති වෙන්නෙ නැත්නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැතිවෙලා යනවා නම්, අන්න ඒවා තමයි නුවණින් සිහි කරන්න ඕන. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා විසින් සිහි කරන්නෙත් ඒවා ම යි.

තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චේව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝමනසිකරෝති, අයං දුක්ඛසමුදයෝති යෝනිසෝමනසිකරෝති, අයං දුක්ඛනිරෝධෝති යෝනිසෝමනසිකරෝති, අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යෝනිසෝමනසිකරෝති, තස්ස ඒවං යෝනිසෝමනසිකරෝතෝ තීණි සංයෝජනානි පහීයන්ති, සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසෝ. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා දස්සනා පහාතබ්බා. 

මේ විදිහට ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සිහි කරන්න හොඳ නැති දේ සිහි නොකර සිටින විට, නුවණින් සිහි කරන්න ඕන දේවල් විතරක් සිහි කරන විට, නූපන් ආශ්‍රව උපදින්නෙත් නෑ. තියෙන ආශ්‍රවත් නැතිවෙලා යනවා. 

මේ විදිහට ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ‘මේක තමයි දුක’ කියල අවබෝධය ඇතිවෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. ‘මේක තමයි දුක හටගන්න කාරණේ’ කියල අවබෝධය ඇතිවෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. ‘මේක තමයි දුක් නැති වී යාම’ කියල අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. ‘මේක තමයි දුක් නැති වෙලා යන්න හේතු වෙන වැඩපිළිවෙල’ කියල අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා.

මේ විදිහට අවබෝධය ඇති වෙන අයුරින් නුවණින් හිතන්න පටන් ගත් ඔහු තුළ සසරට බැඳලා තියෙන බන්ධන තුනක් කැඩිල යනවා. සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බත පරාමාසත් කියන මේ තුනයි. 

පින්වත් මහණෙනි, දර්ශනයෙන් නැති කරල දාන්න ඕන ආශ්‍රව ජාතියක් තියෙනවා කියල කිව්වෙ මේවටයි.

කතමේ ච භික්ඛවේ ආසවා සංවරා පහාතබ්බා? ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ චක්ඛුන්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ චක්ඛුන්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්‍රියසංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසංඛා යෝනිසෝ සෝතින්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ සෝතින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, සෝතින්ද්‍රියසංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසංඛා යෝනිසෝ ඝානින්ද්‍රියසංවරසංවුතෝ විහරති.  යං හිස්ස භික්ඛවේ ඝානින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, ඝානින්ද්‍රියසංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසංඛා යෝනිසෝ ජිව්හින්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ ජිව්හින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, ජිව්හින්ද්‍රියසංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසංඛා යෝනිසෝ කායින්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ කායින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, කායින්ද්‍රියසංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසංඛා යෝනිසෝ මනින්ද්‍රියසංවරසංවුතෝ විහරති. යං හිස්ස භික්ඛවේ මනින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, මනින්ද්‍රියසංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවේ සංවරං අසංවුතස්ස විහරතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, සංවරසංවුතස්ස විහරතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා සංවරා පහාතබ්බා.

(සංවර වීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, සංවර වීම තුළින් නැති කරල දාන ආශ්‍රව මොනවාද? 

පින්වත් මහණෙනි, මගේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ නුවණින් සළකාගෙන ම යි. පින්වත් මහණෙනි, ඇස නැමති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇති වෙන ආශ්‍රව හටගන්නවා නම්, ඒ ඇස නැමති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කොට, ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නෙ නෑ. භික්ෂුව නුවණින් සලකා ගෙන ම යි, කන නමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ .... (පෙ) .... නුවණින් සලකා ගෙන ම යි, නාසය නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ .... (පෙ) .... නුවණින් සලකා ගෙන ම යි, දිව නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ .... (පෙ) .... නුවණින් සලකා ගෙන ම යි, කය නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ .... (පෙ) .... නුවණින් සලකා ගෙන ම යි, මනස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. පින්වත් මහණෙනි, මනස නැමති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හට ගන්නවා නම්, ඒ මනස නැමති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කොට, ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හට ගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, අසංවරව වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නා නමුත් සංවරව ඉන්න කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නේ නෑ.

පින්වත් මහණෙනි, මේවාට තමයි සංවර වීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියල කියන්නේ.

කතමේ ච භික්ඛවේ ආසවා පටිසේවනා පහාතබ්බා? ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති. යාවදේව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡාදනත්ථං. පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවති. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි, නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරෝ චාති. පටිසංඛා යෝනිසෝ සේනාසනං පටිසේවති. යාවදේව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදේව උතුපරිස්සයවිනෝදනං පටිසල්ලානාරාමත්ථං. පටිසංඛා යෝනිසෝ ගිලානපච්චයභේසජ්ජපරික්ඛාරං පටිසේවති. යාවදේව උප්පන්නානං වෙය්‍යාබාධිකානං  වේදනානං පටිඝාතාය අබ්‍යාපජ්ඣපරමතාය. යං හිස්ස භික්ඛවේ අප්පටිසේවතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, පටිසේවතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා පටිසේවනා පහාතබ්බා. 

(පාවිච්චියේ දී නුවණින් සළකල නැති කර දැමිය යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, පාවිච්චියේ දී නුවණින් සළකල නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද? 

පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සිවුරු පාවිච්චි කරන්නෙත් නුවණින් සළකල ම යි. ‘මම මේ සිවුරු පාවිච්චි කරන්නෙ සීතලෙන් වළකින්න ඕන නිසා. උණුසුමින් වළකින්න ඕන නිසා. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අව්වෙන්, සුළඟින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වළකින්න ඕන නිසා. ලැජ්ජා ඇතිවෙන තැන් වසාගන්න ඕන නිසා’ කියල. 

පිණ්ඩපාතය වළඳන්නෙත් නුවණින් සළකා ගෙන ම යි. ‘මං මේ දානෙ වළඳන්නෙ ඇඟ හදාගෙන සෙල්ලම් කරන්න නොවෙයි. ඇඟේ පතේ හයිය පෙන්නන්ටත් නොවෙයි. ශරීරයේ කෙට්ටු තැන් මසින් පුරවගන්නත් නොවෙයි. ලස්සන වෙන්න හිතාගෙනත් නොවෙයි. කය පවත්වා ගන්න විතර ම යි. ජීවත් වෙන්න විතර ම යි. වෙහෙස නැති කරගන්න විතර ම යි. මං මේ ගත කරන උතුම් ජීවිතේට අනුග්‍රහ කරගන්න විතර ම යි. මං මේ දානෙ වළඳලා පරණ බඩගිනි දුක නැති කර ගන්නවා. එතකොට අලුතින් බඩගිනි දුක් ඇතිවෙන්නෙ නෑ. මට පහසුවෙන් ම යහපත් විදිහට ජීවිතේ ගත කරන්න පුළුවනි’ කියලා. 

කුටියක් පාවිච්චි කරන්නෙත් නුවණින් සළකල ම යි. ‘මං මේ කුටියකට ආවෙ සීතලෙන් වළකින්න ඕන නිසා. උණුසුමින් වළකින්න ඕන නිසා, මැස්සන් ගෙන්, මදුරුවන්ගෙන්, අව්වෙන්, සුළඟින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වළකින්න ඕන නිසා. දේශගුණික පීඩා වලින් වළකින්න ඕන නිසා. නිදහසේ බණ භාවනා කරගන්න ඕන නිසා’ කියලා. 

ගිලන්පස, බේත් හේත් පාවිච්චි කරන්නෙත් නුවණින් සළකල ම යි. ‘මං මේ ගිලන්පස පාවිච්චි කරන්නේ ඇඟේ පතේ පීඩාවන් නැතිකර ගන්න විතරයි. ලෙඩ දුක් නැති කරගන්න විතරයි. පීඩාවකින් තොරව වාසය කරන්න විතර ම යි’ කියලා. 

පින්වත් මහණෙනි, යම් දෙයක් පාවිච්චියේ දී නුවණින් සළකන්නෙ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. පාවිච්චියේ දී නුවණින් සළකනවා නම්, ඒ පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, පාවිච්චියේ දී නුවණින් සළකල නැති කර දැමිය යුතු ආශ්‍රවයන් කියල කිව්වෙ මේවට තමයි. 

කතමේ ච භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා? ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති. යං හිස්ස භික්ඛවේ අනධිවාසයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා. 

(වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුත්තේ මොන ආශ්‍රව ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණින් සළකල වීරිය ඇති කරගෙන ඉවසනවා. භික්ෂුව සීතලත් ඉවසගෙන ඉන්නවා. රස්නෙත් ඉවසගෙන ඉන්නවා. බඩගින්නත් ඉවසගෙන ඉන්නවා. පිපාසයත් ඉවසගෙන ඉන්නවා. මැස්සන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. මදුරු කරදරත් ඉවසගෙන ඉන්නවා. සර්පයන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. නපුරු වචන වලින් බැණුම් අහන්න ලැබෙන කොට, ඒකත් ඉවසගෙන ඉන්නවා. ගොඩක් දරුණු, කර්කශ, නපුරු, අමිහිරි, අකමැති, මාරාන්තික දුක් වේදනා ශරීර වලට ලැබෙනවා. එතකොටත් ඒ භික්ෂුව නිශ්ශබ්දව ඉවසගෙන ඉන්නවා. 

පින්වත් මහණෙනි, නමුත් මේ විදිහට වීරියෙන් යුක්ත වෙලා ඉවසගන්න බැරි වුනොත් අන්න ඒ කෙනාට පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. 

යම් කෙනෙක්, වීරියෙන් යුක්තව මේ විදිහට ඉවසනවා නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියන්නෙ මේවට තමයි.

කතමේ ච භික්ඛවේ ආසවා පරිවජ්ජනා පහාතබ්බා? ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ චණ්ඩං හත්ථිං පරිවජ්ජේති. චණ්ඩං අස්සං පරිවජ්ජේති. චණ්ඩං ගෝණං පරිවජ්ජේති. චණ්ඩං කුක්කුරං පරිවජ්ජේති. අහිං ඛාණුං කණ්ටකාධානං සොබ්භං පපාතං චන්දනිකං ඕළිගල්ලං. යථාරූපේ අනාසනේ නිසින්නං යථාරූපේ අගෝචරේ චරන්තං යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං විඤ්ඤූ සබ්‍රහ්මචාරී පාපකේසු ඨානේසු ඕකප්පෙය්‍යුං, සෝ තඤ්ච අනාසනං තඤ්ච අගෝචරං තේ ච පාපකේ මිත්තේ පටිසංඛා යෝනිසෝ පරිවජ්ජේති. යං හිස්ස භික්ඛවේ අපරිවජ්ජයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, පරිවජ්ජයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා පරිවජ්ජනා පහාතබ්බා. 

(නුවණින් යුක්තව මගහැර යාමෙන් නැති කළ යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, නුවණින් යුක්තව මගහැරල යෑමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද? 

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව හොඳට නුවණ පාවිච්චි කරල නපුරු අලියාව මගහැරල යනවා. නපුරු අශ්වයාව මගහැරල යනවා. නපුරු හරකාව මගහැරල යනවා. දරුණු බල්ලාව මගහැරල යනවා. සර්පයන්, කාණු, කටු, ලැහැබ්, හෙළවල්, ප්‍රපාත, අසූචි වළවල්, කුණු වතුර පිරිච්ච වළවල් මගහැරල යනවා. 

නොගැලපෙන තැන්වල වාඩිවෙන්න ගියොත්, නොගැලපෙන තැන්වල හැසිරෙන්න ගියොත්, පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රයට වැටෙන්න ගියොත්, ඒ හේතුවෙන් නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක්වෙනවා නම්, එබඳු වූ වාඩිවීමත්, එබඳු වූ හැසිරීමත්, එබඳු වූ පාප මිත්‍රයාවත් නුවණින් සලකළා ම යි දුරු කරන්නෙ.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මෙවැනි දේවල් නුවණ පාවිච්චි කරල මගහැරල නොගියොත්, පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නවා. නමුත් නුවණ පාවිච්චි කරල මේවායින් මගහැරල ගියොත්, ඒ තැනැත්තාට පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල මගහැරල දැමීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියල කියන්නෙ මේවාට තමයි.

කතමේ ච භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා? ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති. යං හිස්ස භික්ඛවේ අවිනෝදයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, විනෝදයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා. 

(නුවණ පාවිච්චි කරල දුරුකිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැතිකර දැමිය යුතු ආශ්‍රව මොනවා ද? 

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව, කාම සිතුවිලි ඇතිවුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. තරහ සිතුවිලි ඇතිවුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ තරහ සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. හිංසා සිතුවිලි ඇති වුනා ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ හිංසා සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. ඇති වෙන සෑම පාපී අකුසලයක් ම ඉවසන්නෙ නෑ. නුවණ පාවිච්චි කරල ඒ පව් සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. 

පින්වත් මහණෙනි, යම් හෙයකින් මේවා නුවණ පාවිච්චි කරල දුරු කළේ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. මේ විදිහට නුවණ පාවිච්චි කරල ඒවා දුරු කළොත් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව කිව්වෙ මේවාට යි.

කතමේ ච භික්ඛවේ ආසවා භාවනා පහාතබ්බා? ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ ධම්මවිචය සම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ විරියසම්බොජ්ඣංගං භාවේති  විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ පීතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ පස්සද්ධි සම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ සමාධි සම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසංඛා යෝනිසෝ උපෙක්ඛා සම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. යං හිස්ස භික්ඛවේ අභාවයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, භාවයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා භාවනා පහාතබ්බා. 

(සමථ-විදර්ශනා භාවනා තුළින් නැති කළ යුතු ආශ්‍රව)

පින්වත් මහණෙනි, (සමථ-විදර්ශනා) භාවනාවෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවා ද? 

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණ පාවිච්චි කරල (සමථ විදර්ශනා තුළින්) සමාධියක් ඇති කරගන්නවා. චිත්ත විවේකයක් ඇති කරගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් ලැබෙන අවබෝධය තුළින් විරාගී වෙනවා. තණ්හා නිරෝධයට ම යොමු වෙනවා. නිවනට ම යොමු වෙනවා. ඒ වෙලාවෙ ඔහු බලවත්ව සතිය පවත්වන කොට, වඩන්නෙ සති සම්බොජ්ඣංගය යි. නුවණ පාවිච්චි කරල .... (පෙ) .... ත්‍රිලක්ෂණය හොඳට නුවණින් විමසන කොට වඩන්නෙ ධම්මවිචය සම්බොජ්ඣංගය යි. .... (පෙ) .... බලවත්ව වීරිය පවත්වන කොට වඩන්නෙ විරිය සම්බොජ්ඣංගය යි .... (පෙ) .... ප්‍රීතිය බලවත්ව පවත්වන කොට වඩන්නෙ ප්‍රීති සම්බොජ්ඣංගය යි .... (පෙ) .... කායික මානසික සැහැල්ලුව බලවත්ව පවත්වන කොට වඩන්නෙ පස්සද්ධි සම්බොජ්ඣංගය යි. .... (පෙ) .... සමාධිය බලවත්ව පවත්වන කොට වඩන්නෙ සමාධි සම්බොජ්ඣංගය යි. නුවණින් සළකාගෙන ම යි සමාධිය වඩන්නෙ. චිත්ත විවේකයත් ඇති කරගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් ලැබෙන අවබෝධය තුළින් විරාගී වෙනවා. තණ්හා නිරෝධයට ම යොමු වෙනවා. නිවනට ම යොමු වෙනවා. ඒ වෙලාවෙ ඔහු බලවත්ව උපේක්ෂාව පවත්වන කොට, වඩන්නෙ උපේක්ෂා සම්බොජ්ඣංගය යි. 

පින්වත් මහණෙනි, යම් හෙයකින් බොජ්ඣංග ධර්මයන් භාවනා වශයෙන් වඩන්නෙ නැත්නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. යම් හෙයකින් බොජ්ඣංග ධර්මයන් භාවනා වශයෙන් වඩනවා නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නෙ නෑ. 

පින්වත් මහණෙනි, (සමථ විදර්ශනා භාවනාව තුළින් දියුණු වන) බොජ්ඣංග භාවනාවෙන් නැතිකර දැමිය යුතු ආශ්‍රව කියන්නෙ මේවාටයි.

යතෝ ඛෝ භික්ඛවේ භික්ඛුනෝ යේ ආසවා දස්සනා පහාතබ්බා තේ දස්සනා පහීනා හොන්ති. යේ ආසවා සංවරා පහාතබ්බා තේ සංවරා පහීනා හොන්ති.  යේ ආසවා පටිසේවනා පහාතබ්බා තේ පටිසේවනා පහීනා හොන්ති. යේ ආසවා අධිවාසනා පහාතබ්බා තේ අධිවාසනා පහීනා හොන්ති. යේ ආසවා පරිවජ්ජනා පහාතබ්බා තේ පරිවජ්ජනා පහීනා හොන්ති. යේ ආසවා විනෝදනා පහාතබ්බා තේ විනෝදනා පහීනා හොන්ති. යේ ආසවා භාවනා පහාතබ්බා තේ භාවනා පහීනා හොන්ති. අයං වුච්චති භික්ඛවේ භික්ඛු සබ්බාසවසංවරසංවුතෝ විහරති, අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයී සංයෝජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.

පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව තුළ යම් ආශ්‍රවයන් දර්ශනය තුළින් නැතිකර දැමිය යුතු නම්, ඒ ආශ්‍රවයන් දර්ශනය තුළින් නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් සංවර වීමෙන් නැති කළ යුතු නම්, සංවර වීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් නුවණින් සළකා පාවිච්චියෙන් නැති කළ යුතු නම්, නුවණින් සලකා පාවිච්චියෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කළ යුතු නම්, වීරියෙන් යුතුව ඉවසීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් නුවණින් සළකා මගහැර දැමීමෙන් ප්‍රහාණය කළ යුතු නම්, නුවණින් සළකා මගහැරීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් නුවණින් සළකා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු නම්, නුවණින් සලකා දුරු කිරීමෙන් ඒ ආශ්‍රවයන් ද නැති වෙලා ගිහින් නම්, යම් ආශ්‍රවයන් බොජ්ඣංග ධර්මයන් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු නම්, බොජ්ඣංග ධර්මයන් දියුණු කිරීමෙන් ඒ ආශ්‍රවයන් ද ප්‍රහාණය වෙලා ගිහින් නම්,

පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවටයි කියන්නෙ සියලු ආකාරයේ ආශ්‍රවයන්ගෙන් සංවර වූ කෙනා කියලා. තෘෂ්ණාව සිඳ දැම්ම කෙනා කියලා. හැම බන්ධනයක් ම ඉක්ම ගිය කෙනා කියලා. මාන්නය යනු මොකක් ද කියල පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කර ගෙන සියලු දුක් නිමාවට පත් කළ කෙනා කියලා.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. 

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සබ්බාසව සුත්තං නිට්ඨිතං. 

හැම ආශ්‍රවයන් ගැන ම වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!