සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.2. නිමොක්ඛ සුත්තං

1.1.2. නිවන් මග ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ අඤ්‌ඤතරා දේවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමි. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි. ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවන්‌තං ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා රැය පහන්වෙද්දී, එක්තරා දෙවි කෙනෙක් මුළු මහත් ජේතවනාරාමයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

ජානාසි නෝ ත්‌වං මාරිස, සත්‌තානං නිමොක්‌ඛං පමොක්‌ඛං විවේකන්‌ති?

“පින්වත් නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ මේ සත්වයන්ගේ නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන දන්නා සේක්ද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) 

ජානාමි ඛ්‌වාහං ආවුසෝ සත්‌තානං නිමොක්‌ඛං පමොක්‌ඛං විවේකන්‌ති.

“එසේය, ප්‍රිය ආයුෂ්මත, නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන මං දන්නවා.”

(දේවතා);
(දෙවියා)

යථා කථං පන ත්‌වං මාරිස ජානාසි සත්‌තානං නිමොක්‌ඛං පමොක්‌ඛං විවේකන්‌ති?

“පින්වත් නිදුකාණන් වහන්ස, සත්වයන්ගේ නිවන් මඟත් ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන ඔබවහන්සේ දන්නෙ කොයි විදිහටද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) 

නන්‌දීභවපරික්‌ඛයා සඤ්‌ඤාවිඤ්‌ඤාණසං‌ඛයා
වේදනානං නිරෝධා උපසමා ඒවං ඛ්‌වාහං ආවුසෝ ජානාමි
සත්‌තානං නිමොක්‌ඛං පමොක්‌ඛං විවේකන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත, තෘෂ්ණාවෙන් යුක්ත භව පැවැත්ම ක්‍ෂය වෙලා යන්න ඕන. සඤ්ඤා විඤ්ඤාණයේ පැවැත්ම ගෙවිල යන්න ඕන. විඳීම් ගැන තියෙන ඇල්ම නිරුද්ධ වීමෙන්, විඳීම් සංසිඳෙන්න ඕන. මං ඔන්න ඔය විදිහට සත්වයන්ගේ නිවන් මඟත්, අවබෝධයත්, ඒ අමා නිවනත් දන්නවා.”

සාදු! සාදු!! සාදු!!!