සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.1.4. අච්චෙන්ති සුත්තං

1.1.4. ඉක්මයාම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය. 

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

පැත්තකින් සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

අච්‌චෙන්‌ති කාලා තරයන්‌ති රත්‌තියෝ 
වයෝගුණා අනුපුබ්‌බං ජහන්‌ති
ඒතං භයං මරණේ පෙක්‌ඛමානෝ 
පුඤ්‌ඤානි කයිරාථ සුඛාවහානී’ති.

“කාලය වේගයෙන් ඉක්ම යනවා. රැය පහන් වෙන්නෙ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අභියස තියෙන ඔය බිය දකින කෙනා, සැප සැළසෙන පින්මයි කරන්න ඕන.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

අච්‌චෙන්‌ති කාලා තරයන්‌ති රත්‌තියෝ 
වයෝගුණා අනුපුබ්‌බං ජහන්‌ති
ඒතං භයං මරණේ පෙක්‌ඛමානෝ 
ලෝකාමිසං පජහේ සන්‌තිපෙක්‌ඛෝ’ති.

“කාලය වේගයෙන් ගෙවිල යනවා. රැය පහන් වෙන්නෙ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අභියස තියෙන ඔය බිය දකින කෙනා, ඒ අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන් ලෝකාමිසය අත්හරින්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!