සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.2.1. නන්දන සුත්තං

1.2.1. නන්දන වනය මුල්කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි භික්ඛවෝති. භදන්‌තේති තේ භික්‌ඛූ භගවතෝ පච්‌චස්‌සෝසුං. භගවා ඒතදවෝච. 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල භික්‍ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

භූතපුබ්‌බං භික්‌ඛවේ අඤ්‌ඤතරා තාවතිංසකායිකා දේවතා නන්‌දන වනේ අච්‌ඡරාසංඝපරිවුතා දිබ්‌බේහි පඤ්‌චහි කාමගුණේහි සමප්‌පිතා සමං‌ගීභූතා පරිචාරයමානා තායං වේලායං ඉමං ගාථං අභාසි.

“පින්වත් මහණෙනි, ඉස්සර මෙහෙම දෙයක් සිද්ධ වුනා. තව්තිසා දිව්‍යලෝකයේ දෙවි කෙනෙක් හිටියා. එයා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන හිටියා. දිව්‍යමය වූ පංචකාම ගුණයෙන් සතුටු වෙමින්, ඉඳුරන් පිනවන්න පටන්ගත්තා. ඒ වෙලාවේ ඒ දෙවියා මෙන්න මේ ගාථාව කිව්වා.

න තේ සුඛං පජානන්‌ති යේ න පස්‌සන්‌ති නන්‌දනං
ආවාසං නරදේවානං තිදසානං යසස්‌සිනන්‌ති 

‘පිරිවර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ දිව්‍ය විමාන තියෙන ලස්සන නන්දන වනෝද්‍යානය කෙනෙක් දකින්නෙ නැත්නම්, ඇත්තෙන්ම ඔහු සැපය මොකක්ද කියල දන්නෙ නෑ.’

ඒවං වුත්තේ භික්‌ඛවේ අඤ්‌ඤතරා දේවතා තං දේවතං ගාථාය පච්‌චභාසි.

පින්වත් මහණෙනි, එතකොට වෙන දෙවි කෙනෙක් අර දෙවියාට ගාථාවෙන් උත්තර දුන්නා.

න ත්‌වං බාලේ විජානාසි යථා අරහතං වචෝ
අනිච්‌චා සබ්‌බේ සංඛාරා උප්‌පාදවයධම්‌මිනෝ 
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති තේසං වූපසමෝ සුඛෝ’ති.

‘අනේ, අනේ මෝඩයෝ! ඔහේ රහතුන් වහන්සේලාගේ වචන දන්නෙ නෑ නෙවද? හැම සංස්කාරයක්ම අනිත්‍යයි. ඇතිවෙලා, නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්තයි. සංස්කාර ඇතිවෙනවා. නැතිවෙනවා. ඔය ස්වභාවය සංසිඳී යෑමයි හැබෑම සැපය.”

සාදු! සාදු!! සාදු!!!