සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.2.10. සමිද්ධි සුත්තං

1.2.10. සමිද්ධි තෙරුන් නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති තපෝදාරාමේ. අථ ඛෝ ආයස්‌මා සමිද්‌ධි රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨාය යේන තපෝදා තේනුපසංකමි. ගත්‌තානි පරිසිඤ්‌චිතුං. තපෝදේ ගත්‌තානි පරිසිඤ්‌චිත්‌වා පච්‌චුත්‌තරිත්‌වා එකචීවරෝ අට්‌ඨාසි ගත්‌තානි පුබ්‌බාපයමානෝ. අථ ඛෝ අඤ්‌ඤතරා දේවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං තපෝදං ඕභාසෙත්‌වා යේනායස්‌මා සමිද්‌ධි තේනුපසංකමි. උපසං‌කමිත්‌වා වේහාසං ඨිතා ආයස්‌මන්‌තං සමිද්‌ධිං ගාථාය අජ්‌ඣභාසි.

මා හට අසන්ට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර තපෝදාරාමයේ. එදා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් රෑ පාන්දර නැඟිටලා, ඇඟපත සෝදගන්න තපෝදා නදියට ගියා. තපෝදා නදියෙන් ඇඟපත සෝදගෙන, අඳන සිවුර විතරක් ඇතිව, ඇඟේ තෙත සිඳවමින් හිටියා. 

ඒ වෙලාවේ ඒ රෑ පහන් වන වෙලාවෙ එක්තරා දෙව්දුවක් මුළු තපෝදාවම ඒකාලෝක කරගෙන, සමිද්ධි තෙරුන් ළඟට ආවා. ඇවිදින් අහසේ සිටගෙනම, ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මේ ගාථාව කිව්වා.

අභුත්‌වා භික්‌ඛසි භික්‌ඛු න හි භුත්‌වාන භික්‌ඛසි
භුත්‌වාන භික්‌ඛු භික්‌ඛස්‌සු මා තං කාලෝ උපච්‌චගාති

“පින්වත් භික්‍ෂුව, (කම් සැප) නොවළඳා, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා නේද? (කම් සැපත්) වළඳලා, පිණ්ඩපාතෙත් වළඳන එක නරක නැද්ද? පින්වත් භික්‍ෂුව (එහෙම නෙවෙයි, කම් සැපත්) වළඳගෙනම පිණ්ඩපාතෙත් වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මඟ හැරෙන්න එපා!”

(සමිද්ධි);
(සමිද්ධි තෙරුන්) :

කාලං වෝහං න ජානාමි ඡන්‌නෝ කාලෝ න දිස්‌සති
තස්‌මා අභුත්‌වා භික්‌ඛාමි මා මං කාලෝ උපච්‌චගාති

“අවස්ථාව? මට ඒක තේරෙන්නෙ නෑ. කාලය ආශාවෙන් වැහුනාම, ඇත්ත පේන්නෙ නෑ. ඒ නිසා මං (කම් සැප) වළඳන්නෙ නැතුව, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්මයන්න එපා!”

අථ ඛෝ සා දේවතා පඨවියං පතිට්‌ඨහිත්‌වා ආයස්‌මන්‌තං සමිද්‌ධිං ඒතදවෝච. දහරෝ ත්‌වං භික්‌ඛු පබ්‌බජිතෝ සුසුකාලකේසෝ භද්‍රේන යොබ්‌බනේන සමන්‌නාගතෝ පඨමේන වයසා අනිකීළිතාවී කාමේසු. භුඤ්‌ජ භික්‌ඛු මානුසකේ කාමේ මා සන්‌දිට්‌ඨිකං හිත්‌වා කාලිකං අනුධාවීති.

එතකොට ඒ දෙව්දුව පොළොවට බැහැලා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙහෙම කිව්වා.

“නෑ පින්වත් භික්‍ෂුව, ඔයා තාම තරුණයි. ලස්සන කළු කෙස් තියෙන සොඳුරු යොවුන් වයසේ නේද ඉන්නෙ? ජීවිතේ පළමු වයසේ කාම ක්‍රීඩා නොකර නේද ඉන්නෙ? පින්වත් භික්‍ෂුව, මේ මනුෂ්‍ය කාම සම්පත් වළඳන්න. මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා, පරලොවදී ලැබෙන කාලයට අයිති සැප පස්සෙ දුවන්න එපා!”

(සමිද්ධි);
(සමිද්ධි තෙරුන්) :

න ඛ්‌වාහං ආවුසෝ සන්‌දිට්‌ඨිකං හිත්‌වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්‌ච ඛ්‌වාහං ආවුසෝ හිත්‌වා සන්‌දිට්‌ඨිකං අනුධාවාමි. කාලිකා හි ආවුසෝ කාමා වුත්‌තා භගවතා බහුදුක්‌ඛා බහූපායාසා ආදීනවෝ එත්‌ථ භිය්‍යෝ. සන්‌දිට්‌ඨිකෝ අයං ධම්‌මෝ අකාලිකෝ ඒහිපස්‌සිකෝ ඕපනයිකෝ පච්‌චත්‌තං වේදිතබ්‌බෝ විඤ්‌ඤූහීති.

“නෑ,  ආයුෂ්මත, මං මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා, කාලයට අයිති දෙයක් හොයාගෙන දුවනව නොවෙයි. ඇත්තෙන්ම, මම කාලයට අයිති දේ තමයි අත්හැරියේ. මේ ජීවිතේදී ලැබෙන සැපයක්මයි මේ හොයාගෙන දුවන්නෙ. ආයුෂ්මත, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිතියි කියලා. බොහෝ දුක් සහිතයි කියලා. බොහෝ පීඩා සහිතයි කියලා. ඒ කාමය තුළ කරදර ගොඩාක් තියෙනවා කියලා. නමුත් මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවනි. හැම කාලයකම දකින්න පුළුවනි.  ඇවිත් අවබෝධ කරගන්න කියල පෙන්වා දෙන්න පුළුවනි. තමන් තුළ ඇති කරගන්න පුළුවනි. බුද්ධිමත් උදවියට තම තමන් තුළින්ම ප්‍රත්‍යක්‍ෂ කරගන්න පුළුවනි.”

(දේවතා);
(දෙව්දුව) :

කථඤ්‌ච භික්‌ඛු කාලිකා කාමා වුත්‌තා භගවතා බහුදුක්‌ඛා බහූපායාසා ආදීනවෝ එත්‌ථ භිය්‍යෝ? කථං සන්‌දිට්‌ඨිකෝ අයං ධම්‌මෝ අකාලිකෝ ඒහිපස්‌සිකෝ ඕපනයිකෝ පච්‌චත්‌තං වේදිතබ්‌බෝ විඤ්‌ඤූහීති?

“පින්වත් භික්‍ෂුව, මේ කාමයන් කාලයට අයිතියි කියලා, බොහෝ දුක් සහිතයි කියලා, බොහෝ පීඩා සහිතයි කියලා, මේ කාමයන් තුළ බොහෝ කරදර තියෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒ  වගේම මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවන් කියලා, ඕනම කාලෙක දකින්න පුළුවන් කියලා, ඇවිත් අවබෝධ කරගන්න කියලා පෙන්නල දෙන්න පුළුවන් කියලා, තමා තුළට පමුණුවාගන්න ඕන කියලා, බුද්ධිමත් උදවියට තම තමන් තුළින් අවබෝධ කරගන්න පුළුවන් කියලා දේශනා කළේ කොහොමද?

(සමිද්ධි);
(සමිද්ධි තෙරුන්) :

අහං ඛෝ ආවුසෝ නවෝ අචිරපබ්‌බජිතෝ අධුනාගතෝ ඉමං ධම්‌මවිනයං. න ඛ්‌වාහං සක්‌කෝමි විත්‌ථාරේන ආචික්‌ඛිතුං. අයං සෝ භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධෝ රාජගහේ විහරති තපෝදාරාමේ. තං භගවන්‌තං උපසං‌කමිත්‌වා ඒතමත්‌ථං පුච්‌ඡෙය්‍යාසි. යථා තේ භගවා ව්‍යාකරෝති තථා නං ධාරෙය්‍යාසීති.

“ආයුෂ්මත, ඇත්තෙන්ම මං ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මේ ශාසනේට  අලුතින් පැමිණිච්ච අලුත් පැවිද්දෙක්. මට ඔය කාරණේ විස්තර වශයෙන් කියන්න පුළුවන්කමක් නෑ. ඒ භාග්‍යවත් අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩඉන්නවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේව බැහැදැකල, ඔය ප්‍රශ්නය අහන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ යම් ආකාරයකින්ද, අන්න ඒ විදිහට මතක තබාගන්න.”

(දේවතා);
(දෙව්දුව):

න ඛෝ භික්‌ඛු සුකරෝ සෝ භගවා අම්‌හේහි උපසංකමිතුං, අඤ්‌ඤාහි මහේසක්‌ඛාහි දේවතාහි පරිවුතෝ. සචේ ඛෝ ත්‌වං භික්‌ඛු තං භගවන්‌තං උපසංකමිත්‌වා එතමත්‌ථං පුච්‌ඡෙය්‍යාසි. මයම්‌පි ආගච්‌ඡෙය්‍යාම ධම්‌මසවනායාති.

“නෑ, පින්වත් භික්‍ෂුව, අපි වගේ උදවියට ඒ භාග්‍යවතුන් වහන්සේ කරා යන එක ලේසි වැඩක් නොවෙයි. අනිත් මහේශාක්‍ය දෙවිවරුන් විසින් පිරිවරාගෙන ඉන්නවා නෙව. එහෙම නෙවෙයි පින්වත් භික්‍ෂුව, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ඔබවහන්සේම වඩින්න. ගිහින් ඒ කාරණේ විමසන්න. අපිත් බණ අහන්න එන්නම්.”

ඒවමාවුසෝති ඛෝ ආයස්‌මා සමිද්‌ධි තස්‌සා දේවතාය පටිස්‌සුත්‌වා යේන භගවා තේනුපසං‌කමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං නිසීදි. ඒකමන්‌තං නිසින්නෝ ඛෝ ආයස්‌මා සමිද්‌ධි භගවන්‌තං ඒතදවෝච.

“හොඳයි ආයුෂ්මත” කියල ආයුෂ්මත් සමිද්ධි තෙරුන් ඒ දෙව් දුවට පිළිතුරු දුන්නා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ කරා ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

ඉධාහං භන්තේ රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨාය යේන තපෝදා තේනුපසංකමිං ගත්‌තානි පරිසිඤ්‌චිතුං. තපෝදේ ගත්‌තානි පරිසිඤ්‌චිත්‌වා පච්‌චුත්‌තරිත්‌වා ඒකචීවරෝ අට්‌ඨාසිං ගත්‌තානි පුබ්‌බාපයමානෝ. අථ ඛෝ භන්තේ අඤ්‌ඤතරා දේවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං තපෝදං ඕභාසෙත්‌වා යේනාහං තේනුපසං‌කමි. උපසං‌කමිත්‌වා වේහාසං ඨිතා ඉමාය ගාථාය අජ්‌ඣභාසි.

“ස්වාමීනි, මං රෑ පාන්දරින්ම නැගිටලා ඇඟ පත හෝදගන්න තපෝදා නදියට ගියා. තපෝදා නදියෙන් ඇඟ පත සෝදාගෙන, ගොඩට ඇවිත්, අඳන සිවුර විතරක් ඇඳගෙන, ඇඟේ තෙත සිඳවමින් හිටියා. ස්වාමීනි, ඒ වෙලාවෙ එක්තරා දෙව්දුවක්, ඒ රෑ පහන් වෙද්දි, මුළු තපෝදාවම ඒකාලෝක කරගෙන, මං ළඟට ආවා. ඇවිදින් අහසේ හිටගෙනම මට මේ ගාථාව කිව්වා.

අභුත්‌වා භික්‌ඛසි භික්‌ඛු න හි භුත්‌වාන භික්‌ඛසි
භුත්‌වාන භික්‌ඛු භික්‌ඛස්‌සු මා තං කාලෝ උපච්‌චගාති 

‘පින්වත් භික්‍ෂුව, නොවළඳා, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා නේද? වළඳලා, පිණ්ඩපාතෙත් වළඳන එක නරක නැද්ද? වළඳගෙනම, පිණ්ඩපාතෙත්  වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මඟහැරෙන්න එපා!’

ඒවං වුත්තේ අහං භන්තේ තං දේවතං ගාථාය පච්‌චභාසිං.

එතකොට ස්වාමීනි, මං ඒ දෙව්දුවට ගාථාවකින් උත්තර දුන්නා.

කාලං වෝහං න ජානාමි ඡන්‌නෝ කාලෝ න දිස්‌සති
තස්‌මා අභුත්‌වා භික්‌ඛාමි මා මං කාලෝ උපච්‌චගාති

‘අවස්ථාව? මට ඒක තේරෙන්නෙ නෑ. කාලය ආශාවෙන් වැහුනාම ඇත්ත පේන්නෙ නෑ. ඒ නිසා මං වළඳන්නෙ නැතුව, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්මයන්න එපා!’

අථ ඛෝ භන්තේ සා දේවතා පඨවියං පතිට්‌ඨහිත්‌වා මං ඒතදවෝච. දහරෝ ත්‌වං භික්‌ඛු පබ්‌බජිතෝ සුසුකාලකේසෝ භද්‍රේන යොබ්‌බනේන සමන්‌නාගතො පඨමෙන වයසා අනිකීළිතාවී කාමේසු. භුඤ්‌ජ භික්‌ඛු මානුසකේ කාමේ මා සන්‌දිට්‌ඨිකං හිත්‌වා කාලිකං අනුධාවීති.

එතකොට ස්වාමීනි, ඒ දෙව්දුව පොළොවට බැහැල, මට මෙහෙම කිව්වා.

‘නෑ පින්වත් භික්‍ෂුව, ඔයා තාම තරුණයි. ලස්සන කළු කෙස් තියෙන, සොඳුරු යොවුන් වයසේ නේද ඉන්නෙ? ජීවිතේ පළමු වයසේ කාම ක්‍රීඩා නොකර නේද ඉන්නෙ? පින්වත් භික්‍ෂුව, මේ මනුෂ්‍ය කාම සම්පත් වළඳන්න. මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා, පරලොවදී ලැබෙන කාලයට අයිති සැප පස්සෙ දුවන්න එපා!’ 

ඒවං වුත්තේ’හං භන්තේ තං දේවතං ඒතදවෝචං. න ඛ්‌වාහං ආවුසෝ සන්‌දිට්‌ඨිකං හිත්‌වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්‌ච ඛ්‌වාහං ආවුසෝ හිත්‌වා සන්‌දිට්‌ඨිකං අනුධාවාමි. කාලිකා හි ආවුසෝ කාමා වුත්‌තා භගවතා බහුදුක්‌ඛා බහූපායාසා ආදීනවෝ එත්‌ථ භිය්‍යෝ. සන්‌දිට්‌ඨිකෝ අයං ධම්‌මෝ අකාලිකෝ ඒහිපස්‌සිකෝ ඕපනයිකෝ පච්‌චත්‌තං වේදිතබ්‌බෝ විඤ්‌ඤූහීති.

එතකොට ස්වාමීනි, මං ඒ දෙව්දුවට මෙහෙම කිව්වා.

‘නෑ ආයුෂ්මත. මං මේ ජීවිතේදී ලබන්න තියෙන සැප අත්හැරලා කාලයට අයිති දෙයක් සොයාගෙන දුවනවා නොවෙයි. ඇත්තෙන්ම මම කාලයට අයිති දේ තමයි අත්හැරියේ. මේ ජීවිතේදී ලැබෙන සැපයක්මයි මේ හොයාගෙන දුවන්නෙ. ආයුෂ්මත, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිතියි කියලා. බොහෝ දුක් සහිතයි කියලා. බොහෝ පීඩා සහිතයි කියලා. ඒ කාමය තුළ කරදර ගොඩාක් තියෙනවා කියලා. නමුත් මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවනි. හැම කාලයකදීම දකින්න පුළුවනි. ඇවිත් අවබෝධ කරන්න කියල පෙන්නා දෙන්න පුළුවනි. තමන් තුළ ඇති කරගන්න පුළුවනි. බුද්ධිමත් උදවියට තම තමන් තුළින්ම ප්‍රත්‍යක්‍ෂ කරගන්න පුළුවනි.’

ඒවං වුත්තේ භන්තේ සා දේවතා මං ඒතදවෝච. කථඤ්‌ච භික්‌ඛු කාලිකා කාමා වුත්‌තා භගවතා බහුදුක්‌ඛා බහූපායාසා ආදීනවෝ එත්‌ථ භිය්‍යෝ? කථං සන්‌දිට්‌ඨිකෝ අයං ධම්‌මෝ අකාලිකෝ ඒහිපස්‌සිකෝ ඕපනයිකෝ පච්‌චත්‌තං වේදිතබ්‌බෝ විඤ්‌ඤූහීති?

එතකොට ස්වාමීනි, ඒ දෙව්දුව මට මෙහෙම කිව්වා.

‘පින්වත් භික්‍ෂුව, මේ කාමයන් කාලයට අයිතියි කියලා, බොහෝ දුක් සහිතයි කියලා, බොහෝ පීඩා සහිතයි කියලා, මේ කාමයන් තුළ බොහෝ කරදර තියෙනවයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒ වගේම, මේ ශ්‍රී සද්ධර්මය මෙලොවදීම දකින්න පුළුවන් කියලා, ඕනම කාලෙක දකින්න පුළුවන් කියලා, ඇවිත් අවබෝධ කරගන්න කියලා පෙන්වා දෙන්න පුළුවන් කියලා, තමා තුළම පමුණුවාගන්න ඕන කියලා, බුද්ධිමත් උදවියට තම තමන් තුළින් අවබෝධ කරගන්න කියලා දේශනා කළේ කොහොමද?’

ඒවං වුත්තේ’හං භන්තේ තං දේවතං ඒතදවෝචං. අහං ඛෝ ආවුසෝ නවෝ අචිරපබ්‌බජිතෝ අධුනාගතෝ ඉමං ධම්‌මවිනයං. න ඛ්වාහං සක්‌කෝමි විත්‌ථාරේන ආචික්‌ඛිතුං. අයං සෝ භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධෝ රාජගහේ විහරති තපෝදාරාමේ. තං භගවන්‌තං උපසං‌කමිත්‌වා ඒතමත්‌ථං පුච්‌ඡෙය්‍යාසි. යථා තේ භගවා ව්‍යාකරෝති තථා නං ධාරෙය්‍යාසීති.

ස්වාමීනි, මං එතකොට ඒ දෙව්දුවට මෙහෙම කිව්වා.

‘ආයුෂ්මත, ඇත්තෙන්ම මං ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මේ ශාසනයට අලුතෙන් ආපු, අලුත් පැවිද්දෙක්. මට ඔය කාරණේ විස්තර වශයෙන් කියන්න පුළුවන්කමක් නෑ. ඒ භාග්‍යවත්, අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩඉන්නවා. ඉතින්, ඒ භාග්‍යවතුන් වහන්සේව බැහැදැකලා ඔය ප්‍රශ්නය අහන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඔබට පිළිතුරු දේවි. අන්න ඒ විදිහට මතක තබාගන්න.

ඒවං වුත්තේ භන්තේ සා දෙවතා මං ඒතදවෝච. න ඛෝ භික්‌ඛු සුකරෝ සෝ භගවා අම්‌හේහි උපසං‌කමිතුං, අඤ්‌ඤාහි මහේසක්‌ඛාහි දේවතාහි පරිවුතෝ. සචේ ඛෝ ත්‌වං භික්‌ඛු තං භගවන්‌තං උපසං‌කමිත්‌වා ඒතමත්‌ථං පුච්‌ඡෙය්‍යාසි. මයම්‌පි ආගච්‌ඡෙය්‍යාම ධම්‌මසවණායාති. සචේ භන්තේ තස්‌සා දේවතාය සච්‌චං වචනං ඉධේව සා දේවතා අවිදූරේති.

එතකොට ස්වාමීනි, ඒ දෙව්දුව මෙහෙම කිව්වා.‘නෑ, පින්වත් භික්‍ෂුව. අපි වගේ උදවියට ඒ භාග්‍යවතුන් වහන්සේ කරා යන එක ලේසි වැඩක් නොවෙයි. අනිත් මහේශාක්‍ය දෙවිවරුන් විසින් පිරිවරාගෙන ඉන්නවා නෙව. එහෙම නෙවෙයි පින්වත් භික්‍ෂුව, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ඔබවහන්සේම වඩින්න. ගිහින් ඔය කාරණේ විමසන්න. අපිත් බණ අහන්න එන්නම්’ කියලා. ඉතින් ස්වාමීනි, ඒ දෙව්දුව ඇත්තක් නම් කිව්වෙ, දැන් ඒ දෙව්දුව මේ ළඟම ඇති.

ඒවං වුත්තේ සා දේවතා ආයස්‌මන්‌තං සමිද්‌ධිං ඒතදවෝච. පුච්‌ඡ භික්‌ඛු, පුච්‌ඡ භික්‌ඛු, අයමහං අනුප්‌පත්‌තාති.

එතකොටම ඒ දෙව්දුව ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙහෙම කිව්වා.

“පින්වත් භික්‍ෂුව අහන්න. පින්වත් භික්‍ෂුව අහන්න. මේ මම ඇවිල්ලයි ඉන්නේ.”

අථ ඛෝ භගවා තං දේවතං ගාථාය අජ්‌ඣභාසි.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට මේ ගාථාවන් වදාළා.

අක්‌ඛෙය්‍ය සඤ්‌ඤිනෝ සත්‌තා අක්‌ඛෙය්‍යස්‌මිං පතිට්‌ඨිතා
අක්‌ඛෙය්‍යේ අපරිඤ්‌ඤාය යෝගමායන්‌ති මච්‌චුනෝ

“මේ සත්වයන් හඳුනාගන්නේ පංච උපාදානස්කන්ධයයි. පිහිටල ඉන්නෙත් ඒ පංච උපාදානස්කන්ධයේමයි. මේ පංච උපාදානස්කන්ධයමයි අවබෝධ නොකළෙත්. ඒ නිසා මේ සත්වයා මාරයාට වසඟ වෙලා ඉන්නෙ.

අක්‌ඛෙය්‍යේ ‌ච පරිඤ්‌ඤාය අක්‌ඛාතාරං න මඤ්‌ඤති
තඤ්‌හි තස්‌ස න හෝතීති යේන නං වජ්‌ජා න තස්‌ස අත්‌ථි
සචේ විජානාසි වදේහි යක්‌ඛාති 

ඒ පංච උපාදානස්කන්ධයේම යථාර්ථය අවබෝධ කළාට පස්සෙ, ඒ පංච උපාදානස්කන්ධය ගැන ‘මමත්වයෙන් යුක්ත’ හැඟීමක් ඇති කරගන්නෙ නෑ. ඔහුට ඒ හැඟීම් ඇති වෙන්නෙත් නෑ. යම් කරුණක් නිසා ඔහුට රාග, ද්වේෂ, ආදිය ඇතිවෙනවා කියනවා නම් එබඳු දෙයක් ඔහු තුළ නෑ. ඉතින් පින්වත් දෙව්දුව, ඔබ එබඳු කෙනෙක් දකිනවා නම් කියන්න.”

(දේවතා);
(දෙව්දුව) :

න ඛ්‌වාහං භන්තේ ඉමස්‌ස භගවතා සං‌ඛිත්‌තේන භාසිතස්‌ස විත්‌ථාරේන අත්‌ථං ආජානාමි. සාධු මේ භන්තේ භගවා තථා භාසතු. යථාහං ඉමස්‌ස භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්‌ථාරේන අත්‌ථං ආජානෙය්‍යන්‌ති.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සාරාංශ වශයෙන් වදාළ ධර්මය මට විස්තර වශයෙන් තේරෙන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් මේ ධර්මය මට පවසන සේක්වා! එතකොට මට භාග්‍යවතුන් වහන්සේ විසින් සාරාංශ කොට වදාළ ධර්මය විස්තර වශයෙන් අවබෝධ කරන්න පුළුවනි!”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

සමෝ විසෙසී උදවා නිහීනෝ යෝ මඤ්‌ඤතී සෝ විවදේථ තේන
තීසු විධාසු අවිකම්‌පමානෝ සමෝ විසේසීති න තස්‌ස හෝති
සචේ විජානාසි වදේහි යක්‌ඛාති

“යම්  කෙනෙක්  හිතනවා නම්, අනිත් අයයි, මමයි ඔක්කොම එකයි කියලා, නැත්නම් අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියල හිතනවා නම්, අන්න ඒ නිසයි ඒ තැනැත්තා අනුන් හා වාද කරන්නේ. නමුත් යම් කෙනෙක් ඔය මාන තුන තුළ කම්පා වෙන්නෙ නැත්නම්, ඔහුට ‘මම සමානයි, මම ශ්‍රේෂ්ඨයි, මම හීනයි’ කියල හිතෙන්නෙ නෑ. ඉතින් පින්වත් දෙව්දුව, එබඳු කෙනෙක් ගැන දන්නවා නම් කියන්න.”

(දේවතා);
(දෙව්දුව):

ඉමස්‌සපි ඛ්‌වාහං භන්තේ භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස න විත්‌ථාරේන අත්‌ථං ආජානාමි. සාධු මේ භන්තේ භගවා තථා භාසතු, යථාහං ඉමස්‌ස භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්‌ථාරේන අත්‌ථං ආජානෙය්‍යන්‌ති.

“අනේ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කොට වදාළ ඔය කරුණේ අර්ථයත් විස්තර වශයෙන් මට තේරෙන්නෙ නෑ. ඉතින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මට විස්තර වශයෙන් කියා දෙන සේක්වා! එතකොට මට භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කොට වදාළ මේ ධර්මය විස්තර වශයෙන් මට දැනගන්න ලැබේවි.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

පහාසි සං‌ඛං න විමානමජ්‌ඣගා අච්‌ඡෙච්‌ඡි තණ්‌හං ඉධ නාමරූපේ
තං ඡින්‌නගන්‌ථං අනීඝං නිරාසං පරියේසමානා නාජ්‌ඣගමුං
දේවා මනුස්‌සා ඉධ වා හුරං වා සග්‌ගේසු වා සබ්‌බනිවේසනේසු
සචේ විජානාසි වදේහි යක්‌ඛාති.

“සම්මුතියත් අත්හැරියා. විවිධාකාර වූ මාන්නයට පැමිණුනෙත් නෑ. මේ නාමරූපය කෙරෙහි තියෙන තණ්හාවත් නැති කළා. කෙලෙස් ගැටත් සිඳිල දැම්මා. දුක් රහිත වුනා. ආශා රහිත වුනා. දෙවියොත්, මනුෂ්‍යයොත්, මෙලොව හරි, පරලොව හරි, ස්වර්ගයෙ හරි, ඕනෑම සත්ව සන්නිවාසයක කොච්චර හෙව්වත් එබඳු කෙනෙකුගේ උපතක් සොයන්න බෑ. පින්වත් දෙව්දුව, ඔබට ඒ ගැන තේරුනා නම් කියන්න.”

(දේවතා);
(දෙව්දුව) :

ඉමස්‌ස ඛ්‌වාහං භන්තේ භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්‌ථාරේන අත්‌ථං ආජානාමි.

“ස්වාමීනි, දැන් එය සාරාංශ කොට වදාළ කරුණු නම් මට විස්තර වශයෙන් මේ විදිහට තේරුනා.”

පාපං න කයිරා වචසා මනසා කායේන වා කිඤ්‌චන සබ්‌බලෝකේ
කාමේ පහාය සතිමා සම්‌පජානෝ දුක්‌ඛං න සේවේථ අනත්‌ථසංහිතන්‌ති.

“කයින්, වචනයෙන්, මනසින් පව් කරන්නෙ නෑ. මේ ලෝකයේ සියලු කාමයන් අත්හරිනවා. සිහි ඇතිව ඉන්නවා. නුවණින් යුතුව ඉන්නවා. අයහපත ඇතිකරන කිසි දෙයක් කරන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

 

නන්‌දනවග්‌ගෝ දුතියෝ.

දෙවෙනි නන්දන වර්ගය අවසන් විය.