සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.3.3. ජටා සුත්තං

1.3.3. අවුල ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං...
සැවැත් නුවර ජේතවනාරාමයේදීය .........................

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

අන්‌තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්‌ඡාමි කෝ ඉමං විජටයේ ජටන්‌ති

“ජීවිතේ ඇතුළෙ තියෙන්නෙ අවුලක්. පිට තියෙන්නෙත් අවුලක්. මේ සත්ව ප්‍රජාව, අවුලෙන් අවුල් වෙලයි ඉන්නෙ. පින්වත් ගෞතමයන් වහන්ස, මං ඔබවහන්සේගෙන් විමසන්න කැමතියි, ඇත්තෙන්ම මේ අවුල ලිහාගන්නෙ කවුද?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

සීලේ පතිට්‌ඨාය නරෝ සපඤ්‌ඤෝ චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං
ආතාපි නිපකෝ භික්‌ඛු සෝ ඉමං විජටයේ ජටන්ති

“ප්‍රඥාවන්ත මනුස්සයෙක් සීලයක පිහිටලා, සමාධියත්, ප්‍රඥාවත් වඩන්න ඕන. අන්න ඒ කෙලෙස් තවන වීරිය තියෙන, තැනට සුදුසු නුවණ තියෙන භික්‍ෂුව මේ අවුල ලිහාගන්නවා.

යේසං රාගෝ ච දෝසෝ ච අවිජ්‌ජා ච විරාජිතා
ඛීණාසවා අරහන්‌තෝ තේසං විජටිතා ජටා 

යමෙක් තුළ රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් නැත්නම්, ඒ උතුමන් ආශ්‍රව රහිතයි. ඒ උතුමන් තමයි රහතන් වහන්සේලා. ඔවුන් තමයි ඔය අවුල ලිහාගත්තේ.

යත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච අසේසං උපරුජ්‌ඣති
පටිඝං රූපසඤ්‌ඤා ච එත්‌ථේ සා ඡිජ්‌ජතේ ජටාති 

යම් තැනක නාමයත් රූපයත්, එමෙන්ම මානසිකව ඇතිවෙන සඤ්ඤාවනුත්, රූප සඤ්ඤාවනුත්, ඉතිරි නැතිව නැතිවෙනවා නම්, අන්න එතන තමයි මේ අවුල සිඳිල යන්නේ.”

සාදු! සාදු!! සාදු!!!