සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.2. මච්ඡරී සුත්තං

1.4.2. මසුරුබව මුල්කොට වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

අථ ඛෝ සම්‌බහුලා සතුල්‌ලපකායිකා දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමිංසු. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨංසු. ඒකමන්‌තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එදා රැය පහන්වන වෙලාවෙ බොහෝ සතුල්ලපකායික දෙවිවරු මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා. 

මච්‌ඡේරා ච පමාදා ච ඒවං දානං න දීයති
පුඤ්‌ඤමාකං‌ඛමානෙන දෙය්‍යං හෝති විජානතාති

“මසුරුබවත්, ප්‍රමාදයත් තිබීමෙන් තමයි දාන මානයක්වත් දෙන්නෙ නැත්තේ. නමුත් පිං කැමති කෙනා ඒකෙ ආනිසංස දැනගෙන, දන් දෙන්න  ඕන.” 

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගථාව පැවසුවා.

යස්‌සේව භීතෝ න දදාති මච්‌ඡරී තදේවාදදතෝ භයං
ජිඝච්‌ඡා ච පිපාසා ච යස්‌ස භායති මච්‌ඡරී
තමේව බාලං ඵුසති අස්‌මිං ලෝකේ පරම්‌හි ච

තස්‌මා විනෙය්‍ය මච්‌ඡේරං දජ්‌ජා දානං මලාභිභූ
පුඤ්‌ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්‌ති පාණිනන්‌ති

“මසුරු පුද්ගලයා යම් දේකට බිය නිසයි දන් දෙන්නෙ නැත්තේ. නමුත්, දන් නොදෙන ඔහුට ඒ කාරණෙන්මයි බිය ඇතිවෙන්නෙ. බඩගින්නත්, පිපාසයත් යන යමක් ඇද්ද, ඒකටයි මසුරු පුද්ගලයා බියවන්නෙ. ඒ අඥාන පුද්ගලයාව ඒ කරුණින්ම මෙලොව, පරලොව දෙකේ තවනවා. ඒ නිසා මසුරුකම නැමැති මලකඩ මැඬගෙනයි දන් දෙන්න ඕන. පරලොවදී සත්වයින්ට පිහිට වෙන්නෙ පින් තමයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි. 

එතකොට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

තේ මතේසු න මීයන්‌ති අද්ධානං ව සහබ්‌බජං
අප්‌පස්‌මිං යේ පවෙච්‌ඡන්‌ති ඒස ධම්‌මෝ සනන්‌තනෝ

“යම් කෙනෙක් තමන් සමඟ මහමඟ යන උදවියත් එක්ක සුළු දෙයක් නමුත් බෙදාහදාගන්නවා නම්, ඔවුන් මළවුන් අතර මැරෙන්නෙ නෑ. මේක සනාතන ධර්මයක්. 

අප්‌පස්‌මේකේ පවෙච්‌ඡන්‌ති බහුනේකේ න දිච්‌ඡරේ
අප්‌පස්‌මා දක්‌ඛිණා දින්‌නා සහස්‌සේන සමං මිතා

සමහරුන් ටිකක් තියෙන කොටත් දෙනවා. සමහරු ගොඩක් සම්පත් තියාගෙනත් දෙන්නෙ නෑ. ටිකක් තියෙද්දි දීපු දානය ගොඩාක් තියාගෙන දෙන දානෙට වඩා දහස් ගුණයක් වටිනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි. 

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

දුද්‌දදං දදමානානං දුක්‌කරං කම්‌ම කුබ්‌බතං
අසන්‌තෝ නානුකුබ්‌බන්‌ති සතං ධම්‌මෝ දුරන්‌නයෝ

“සත්පුරුෂයන් දුෂ්කර අවස්ථාවලත් දන් දෙනවා. දුෂ්කර අවස්ථාවලත් යහපත් දේවල් කරනවා. නමුත් අසත්පුරුෂයො ඒක අනුගමනය කරන්නෙ නෑ. ඔවුන්ට සත්පුරුෂ ධර්මය ගොඩාක් ඈතයි.

තස්‌මා සතඤ්‌ච අසතඤ්ච නානා හෝති ඉතෝ ගති
අසන්‌තෝ නිරයං යන්‌ති සන්‌තෝ සග්‌ගපරායණාති

ඒ නිසා සත්පුරුෂයාත්, අසත්පුරුෂයාත් මෙලොවින් පරලොව යෑමේදී, එකිනෙකාට වෙනස් වෙනවා. අසත්පුරුෂයෝ නිරයට යනවා. සත්පුරුෂයෝ ස්වර්ගයට යනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවන්තං ඒතදවෝච. කස්‌ස නු ඛෝ භගවා සුභාසිතන්‌ති?

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“භාග්‍යවතුන් වහන්ස, කවුරුන් විසින්ද ඉතාම හොඳට කිව්වෙ?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ):

සබ්‌බාසං වෝ සුභාසිතං පරියායේන. අපි ච මමාපි සුණාථ 

“ඔය සියලු දෙනාම ඉතා යහපත් කරුණු තමයි කිව්වේ. නමුත් මගේ අදහසත් අහන්න. 

ධම්‌මං චරේ යෝපි සමුඤ්‌ඡකං චරං
දාරඤ්‌ච පෝසං දදමප්‌පකස්‌මිං
සතං සහස්‌සානං සහස්‌සයාගිනං
කලම්‌පි නාග්‌ඝන්‌ති තථාවිධස්‌ස තේති

“ධර්මයේ  හැසිරෙන කෙනෙක්  දුකසේ  ජීවත් වෙලා, අඹු දරුවන්වත් පෝෂණය කරගෙන, සුළු දෙයක් තියෙද්දිත් දන් දෙනවාද, දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂයක් කළත් දිළින්දාගේ දානෙන් සීයට එකක් තරම්වත් වටින්නේ නෑ.”

අථ ඛෝ අපරා දේවතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාවෙන් පැවසුවා.

කේනේස යඤ්‌ඤෝ විපුලෝ මහග්‌ගතෝ
සමේන දින්‌නස්‌ස න අග්‌ඝමේති
කථං සතං සහස්‌සානං සහස්‌සයාගිනං
කලම්‌පි නාග්‌ඝන්‌ති තථාවිධස්‌ස තේති

“මහා වියදම් කරලා, මහා ලොකුවට දෙන දානය අර ටිකක් තියෙද්දි දෙන දානෙ තරම් වටින්නේ නැත්තෙ ඇයි? දහස් ගණන් වියදම් කොට දෙන දානෙ ලක්ෂයක්, දිළින්දෙකු දෙන දානයේ සීයට එකක් තරම්වත් වටින්නෙ නැතිවෙන්නෙ කොහොමද?”

අථ ඛෝ භගවා තං දේවතං ගාථාය අජ්ඣභාසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවකින් මෙහෙම පිළිතුරු දුන්නා.

දදන්‌ති හේකේ විසමේ නිවිට්‌ඨා
ඡෙත්‌වා වධිත්‌වා අථ සෝචයිත්‌වා
සා දක්‌ඛිණා අස්‌සුමුඛා සදණ්‌ඩා
සමේන දින්‌නස්‌ස න අග්‌ඝමේති
ඒවං සතං සහස්‌සානං සහස්‌සයාගිනං
කලම්‌පි නාග්‌ඝන්‌ති තථාවිධස්‌ස තේති

“සමහරු දන් දෙන්නෙ වැරදි ක්‍රමයක පිහිටලයි. සතුන් මරලා, වද දීලා, ශෝකී කරවලයි දෙන්නේ. කඳුළු වැකුණු මුහුණු ඇතුව, දඬුමුගුරු ඇතිව දෙන ඒ දානය දිළින්දාගේ දානෙ තරම් වටින්නෙ නෑ. එබඳු දාන දහස් ගණන් වියදම් කොට, ලක්‍ෂ ගණන් කළත් දිළින්දාගේ දානෙන් සීයට එකක් තරම්වත් වටින්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!