සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.3. සාධු සුත්තං

1.4.3. හොඳ දේ මුල්කොට වදාළ දෙසුම

සාවත්ථියං... 
සැවැත් නුවර ජේතවනාරාමයේදීය.........................

අථ ඛෝ සම්‌බහුලා සතුල්‌ලපකායිකා දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමිංසු. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨංසු. ඒකමන්‌තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එදා බොහෝ සතුල්ලපකායික දෙවිවරු මුළු ජේතවන ආරාමයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සෙ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය පැවසුවා. 

සාධු ඛෝ මාරිස දානං.

“නිදුකාණන් වහන්ස, දන්දීම කොයිතරම් හොඳ දෙයක්ද! 

මච්‌ඡේරා ච පමාදා ච ඒවං දානං න දීයති
පුඤ්‌ඤමාකං‌ඛමානේන දෙය්‍යං හෝති විජානතාති.

මසුරුකමත්, ප්‍රමාදයත් නිසා දන් දෙන්නෙ නෑ. නමුත් පින් කැමති කෙනා, පිනේ ආනිසංස දන්න කෙනා දන් දෙනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය පැවසුවා.

සාධු ඛෝ මාරිස දානං. අපි ච අප්‌පස්‌මිම්‌පි සාධු දානං.

“නිදුකාණන් වහන්ස, දන් දීම කොයිතරම් හොඳද! ටිකක් තියෙද්දී වුනත්, දන් දෙන එක තමයි හොඳ.

අප්‌පස්‌මේකේ පවෙච්‌ඡන්‌ති බහුනේකේ න දිච්‌ඡරේ
අප්‌පස්‌මා දක්‌ඛිණා දින්‌නා සහස්‌සේන සමං මිතාති 

සමහරු ටිකක් තිබෙද්දිත් දන් දෙනවා. සමහරු ගොඩක් සැපසම්පත් තිබෙද්දිත් දන් දෙන්නෙ නෑ. ටිකක් තිබෙද්දි දෙන දානය, මහා දාන දාහක් තරම් වටිනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය පැවසුවා.

සාධු ඛෝ මාරිස දානං. අප්‌පස්‌මිම්‌පි සාධු දානං. අපි ච සද්‌ධායපි සාධු දානං.

“නිදුකාණන් වහන්ස, දන් දීම කොයිතරම් හොඳද! ටිකක් තිබෙද්දිත්, දන් දෙන එක කොයිතරම් හොඳද. නමුත් ශ්‍රද්ධාවෙන්ම දෙන එක තමයි හොඳ.

දානඤ්‌ච යුද්‌ධඤ්‌ච සමානමාහු
අප්‌පාපි සන්‌තා බහුකේ ජිනන්‌ති
අප්‌පම්‌පි චේ සද්‌දහානෝ දදාති
තේනේව සෝ හෝති සුඛී පරත්‌ථාති 

දන් දීම යුද්ධයක් කරනවා වගේ වැඩක්. බොහෝ මසුරු පුද්ගලයන්ව පරදවා, සුළු දෙනෙක් තමයි මේක දිනන්නෙ. ශ්‍රද්ධාවෙන් දන් දෙන්නෙත් ටික දෙනෙක් තමයි. ඔවුන් ඒ නිසාම පරලොව සැප ලබනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය පැවසුවා.

සාධු ඛෝ මාරිස දානං. අප්‌පස්‌මිම්‌පි සාධු දානං. සද්‌ධායපි සාධු දානං. අපි ච ධම්‌මලද්‌ධස්‌සපි සාධු දානං.

“නිදුකාණන් වහන්ස, දන් දීම කොයිතරම් හොඳද! ටිකක් තිබෙද්දිත්, දන් දීම කොයිතරම් හොඳද. ශ්‍රද්ධාවෙන් දන් දීම තමයි හොඳ. ඒ වගේම ධාර්මිකව උපයාසපයාගත්තු දෙයින් දන් දීම තමයි හොඳ.

යෝ ධම්‌මලද්‌ධස්‌ස දදාති දානං
උට්‌ඨානවිරියාධිගතස්‌ස ජන්‌තු
අතික්‌කම්‌ම සෝ වේතරණිං යමස්‌ස
දිබ්‌බානි ඨානානි උපේති මච්‌චෝති 

යමෙක් උත්සාහයෙන්, වීරියෙන් හරි-හම්බකරගත්තු දේකින් ආර්යන් වහන්සේ නමකට දන් දෙනවා නම්, ඔහු යම රජුගේ ‘වේතරණී’ නිරය ඉක්මවාගෙන, දිව්‍ය ලෝකයට යනවා.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට තව දෙවි කෙනෙක් භාගවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය පැවසුවා.

සාධු ඛෝ මාරිස දානං. අප්‌පස්‌මිම්‌පි සාධු දානං. සද්‌ධායපි සාධු දානං. ධම්‌මලද්‌ධස්‌සපි සාධු දානං. අපි ච විචෙය්‍ය දානම්‌පි සාධු.

“නිදුකාණන් වහන්ස, දන් දෙන එක තමයි හොඳ. ටිකක් තිබෙද්දිත් නමුත් දෙන එක තමයි හොඳ. ශ්‍රද්ධාවෙන්ම දෙන එක තමයි හොඳ. ධාර්මිකව ලැබිච්ච දේකින් දෙන එක තමයි හොඳ. ඒ වගේම විමසා බලා දෙන එක තමයි හොඳ.

විචෙය්‍ය දානං සුගතප්‌පසත්‌ථං
යේ දක්‌ඛිණෙය්‍යා ඉධ ජීවලෝකේ
ඒතේසු දින්‌නානි මහප්‌ඵලානි
බීජානි වුත්‌තානි යථා සුඛේත්‌තේති 

සුගතයන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ නුවණින් විමසා දන් දීමයි. මේ සත්ව ලෝකයේ දන්පැන් ලැබීමට තරම් සුදුසු වූ උතුමන් සිටිත්ද, උන්වහන්සේලාට දෙන දානයෙන්, මහත් ප්‍රතිඵල ලැබෙනවා. ඒක හරියට සාරවත් කුඹුරක වී වැපිරීම වගෙයි.”

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං උදානං උදානේසි.

එතකොට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය පැවසුවා. 

සාධු ඛෝ මාරිස දානං. අප්‌පස්‌මිම්‌පි සාධු දානං. සද්‌ධායපි සාධු දානං. ධම්‌මලද්‌ධස්‌සපි සාධු දානං. විචෙය්‍ය දානම්‌පි සාධු. අපි ච පාණෙසුපි සාධු සංයමෝ.

“නිදුකාණන් වහන්ස, දන් දීම කොයිතරම් හොඳද! ටිකක් තිබෙද්දිත් දීම තමයි හොඳ. ශ්‍රද්ධාවෙන්ම දීම තමයි හොඳ. ධාර්මික දෙයින් දීම තමයි හොඳ. නුවණින් විමසා බලා දීම තමයි හොඳ. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි හොඳ.”

යෝ පාණභූතේසු අහේඨයං චරං
පරූපවාදා න කරෝ‌ති පාපං
භීරුං පසංසන්‌ති න හි තත්‌ථ සූරං
භයා හි සන්‌තෝ න කරොන්‌ති පාපං 

යමෙක් සතුන්ව වෙහෙසවන්නෙ නැත්නම්, අනුන්ගෙන් නින්දා ලැබෙන නිසා පව් කරන්නෙ නැත්නම්, ඒ පවට බිය ඇති කෙනාව සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරනවා. නමුත් පව් කිරීමේ බිය නැති කෙනා ඔහුට ප්‍රශංසා කරන්නෙ නෑ. නමුත් සත්පුරුෂයන් පව් කරන්නෙ නෑ.”

අථ ඛෝ අපරා දේවතා භගවන්‌තං ඒතදවෝච. කස්‌ස නු ඛෝ භගවා සුභාසිතන්‌ති?

එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“භාග්‍යවතුන් වහන්ස, කවුරුන් විසින්ද ඉතාම හොඳ දේ කිව්වේ?”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

සබ්‌බාසං වෝ සුභාසිතං පරියායේන. අපි ච මමාපි සුණාථ.

ඔය හැම කෙනෙක්ම කිව්වේ ඉතා හොඳ දේවල් තමයි. නමුත් මගේ අදහසත් අහන්න.

සද්‌ධා හි දානං බහුධා පසත්‌ථං
දානා ච ඛෝ ධම්‌මපදං ව සෙය්‍යෝ
පුබ්‌බේ ච හි පුබ්‌බතරේ ච සන්‌තෝ
නිබ්‌බානමේවජ්‌ඣගමුං සපඤ්‌ඤාති

“ශ්‍රද්ධාවෙන් දන් දීම ගැන හැමවිටම ප්‍රශංසා ලැබෙනවා. නමුත් දානයට වඩා ඒ අමා නිවනම තමයි උතුම්. ඉස්සරත්, ගොඩාක් ඉස්සරත්, සත්පුරුෂයන්, නුවණැත්තන් ඒ අමා නිවනමයි අවබෝධ කළේ.”

සාදු! සාදු!! සාදු!!!