සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.4. න සන්ති සුත්තං

1.4.4. නිත්‍ය නැති දේ මුල්කොට වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ සම්‌බහුලා සතුල්‌ලපකායිකා දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසං‌කමිංසු. උපසං‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨංසු. ඒකමන්‌තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා බොහෝ සතුල්ලපකායික දෙවිවරු රැය පහන්වෙන වෙලාවෙ, මුළු ජේතවන ආරාමයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සෙ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

න සන්‌ති කාමා මනුජේසු නිච්‌චා සන්‌තීධ කමනීයානි යේසු බද්‌ධෝ
යේසු පමත්‌තෝ අපුනාගමනං අනාගන්‌තා පුරිසෝ මච්‌චුධෙය්‍යාති
ඡන්‌දජං අඝං ඡන්‌දජං දුක්‌ඛං ඡන්‌දවිනයා අඝවිනයෝ අඝවිනයා දුක්‌ඛවිනයෝති

“මිනිස්සු අතර තිබෙන මේ කාමයන් නිත්‍ය නෑ. නමුත් මෙහි තිබෙන කාම වස්තුවලට මිනිස්සු බැඳිල ඉන්නවා. කාමයන්ට බැඳුනට පස්සේ මේ සංසාරයට නොපැමිණීම නම් වූ නිවන කරා ඒ මිනිස්සු යන්නෙ නෑ. එබඳු කාමයන් තමයි මේ ලෝකෙ තිබෙන්නෙ. මේ දුක හටගන්නෙ ආශාව තුළින්මයි. මේ දුක හටගන්නෙ කැමැත්ත තුළින්මයි. කැමැත්ත දුරුකිරීමෙන්, දුක් දුරුකරන්න පුළුවන්. දුක් දුරුකළා කියන්නෙ සංසාර දුකම නැතිවුනා කියන එකයි.

න තේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්‌පරාගෝ පුරිසස්‌ස කාමෝ
තිට්‌ඨන්‌ති චිත්‍රානි තථේව ලෝකේ අථෙත්‌ථ ධීරා විනයන්‌ති ඡන්‌දං

මේ ලෝකෙ විචිත්‍ර වූ අරමුණු තියෙනවා. නමුත් ඒවා නෙවෙයි කාමයන් කියන්නෙ. කාමය කියන්නෙ මනුෂ්‍යයාගේ මනසේ සංකල්පීය වශයෙන් හටගන්න රාගයයි. මේ ලෝකෙ විචිත්‍ර දේවල් ඒ විදිහටම තියෙනවා. නමුත් ප්‍රඥාවන්තයින් ඒවා කෙරෙහි තියෙන ඇල්ම දුරුකරනවා.

කෝධං ජහේ විප්‌පජහෙය්‍ය මානං සංයෝජනං සබ්‌බමතික්‌කමෙය්‍ය
තං නාමරූපස්‌මිමසජ්‌ජමානං අකිඤ්‌චනං නානුපතන්‌ති දුක්‌ඛා

ක්‍රෝධය දුරුකරන්න ඕන. මානය විශේෂයෙන්ම අත්හරින්න ඕන. හැම සංයෝජනයක්ම ඉක්මවා යන්න ඕන. නාමරූප දෙකේ නොඇලෙන, නිවනට පැමිණුන රහතන් වහන්සේ කරා දුක එන්නෙ නෑ.

පහාසි සං‌ඛං න ච මානමජ්‌ඣගා අච්‌ඡෙච්‌ඡි තණ්‌හං ඉධ නාමරූපේ
තං ඡින්‌නගන්‌ථං අනීඝං නිරාසං පරියේසමානා නාජ්‌ඣගමුං
දේවා මනුස්‌සා ඉධ වා හුරං වා සග්‌ගේසු වා සබ්‌බනිවේසනේසූති

උන්වහන්සේ සම්මුතිය ඉක්ම ගිහින් තියෙන්නෙ. කිසි මාන්නයකට පත්වෙන්නෙ නෑ. මේ නාමරූප කෙරෙහි ඇති තණ්හාව සිඳල දාලයි තියෙන්නෙ. කෙලෙස් ගැට සිඳල තියෙන්නෙ. දුක් රහිත වූ, ආශා රහිත වූ, ඒ රහතන් වහන්සේ උපදින තැනක් ගැන දෙවියොත්, මිනිස්සුත්, මෙලොව, පරලොව හෝ ස්වර්ගවල හෝ හැම සත්ව වාසස්ථානයක හෝ හෙව්වත්, කොතනකවත් හොයාගන්න නෑ.”

තඤ්චේ හි නාද්‌දක්‌ඛුං තථාවිමුත්‌තං (ඉච්‌චායස්‌මා මෝඝරාජා),
දේවා මනුස්‌සා ඉධ වා හුරං වා
නරුත්‌තමං අත්‌ථචරං නරානං
යේ තං නමස්‌සන්‌ති පසංසියා තේති?

(ආයුෂ්මත් මෝඝරාජ තෙරණුවෝ):

“ඒ විදිහට විමුක්තියට පත් වුන බුදු සමිඳුන් ගැනත්, දෙව්මිනිස් කාටවත්, මෙලොව, පරලොව කොහේවත් හොයාගන්න බෑ. මිනිසුන්ගේ යහපත උදෙසා සැරිසරා වඩින, නරෝත්තම වූ, බුදු සමිඳාණන්ට කවුරු හෝ නමස්කාර කරනවා නම්, ඔවුනුත් ප්‍රශංසා ලැබිය යුතුයි නේද?”

පසංසියා තේපි භවන්‌ති භික්‌ඛූ (මෝඝරාජාති භගවා),
යේ තං නමස්‌සන්‌ති තථාවිමුත්‌තං
අඤ්‌ඤාය ධම්‌මං විචිකිච්‌ඡං පහාය
සං‌ගාතිගා තේපි භවන්‌ති භික්‌ඛූති.

(භාග්‍යවතුන් වහන්සේ):

“(පින්වත් මෝඝරාජ) යම්කිසි කෙනෙක්, ඒ විදිහට දුකින් නිදහස් වුනු තථාගතයන් වහන්සේට නමස්කාර කරනවා නම්, ඒ භික්‍ෂුන් වහන්සේලාටත් ප්‍රශංසා කරන්ට ඕන තමයි. ඒ භික්‍ෂුන් වහන්සේලාත් ධර්මය දැනගෙන, සැකය අත්හැරල, කෙලෙස්වලින් නිදහස් වෙලා ඉන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!