සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.4.10. චුල්ල පජ්ජුන්න ධීතු සුත්තං

1.4.10. පර්ජන්‍ය දෙවියන්ගේ චූටි දියණිය නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. අථ ඛෝ චුල්ලකෝකනදා පජ්‌ජුන්‌නස්‌ස ධීතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං මහාවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි. ඒකමන්‌තං ඨිතා ඛෝ චුල්ලකෝකනදා පජ්‌ජුන්‌නස්‌ස ධීතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහවනයේ, කූටාගාර ශාලාවේ. එදා චූටි කෝකනදා නම් වූ පර්ජන්‍ය දෙවියාගේ දියණිය, රෑ පහන් වන වෙලාවේ, මුලුමහත් මහාවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් චූටි කෝකනදා නම් වූ පර්ජන්‍ය දියණිය භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

ඉධාගමා විජ්‌ජුපභාසවණ්‌ණා කෝකනදා පජ්‌ජුන්‌නස්‌ස ධීතා
බුද්‌ධඤ්‌ච ධම්‌මඤ්‌ච නමස්‌සමානා ගාථාචිමා අත්‌ථවතී අභාසි

“පර්ජන්‍යගේ දියණිය වන, විදුලි එළි පැහැයෙන් දිලෙන කෝකනදා දැන් මෙහෙ ඇවිත් ඉන්නවා. බුදු සමිඳුන්වත්, ශ්‍රී සද්ධර්මයත් වඳිමින්, අර්ථවත් වූ මේ ගාථාවන් පැවසුවා.

බහුනාපි ඛෝ නං විභජෙය්‍යං පරියායේන තාදිසෝ ධම්‌මෝ
සංඛිත්‌තමත්‌ථං ලපයිස්‌සාමි යාවතා මේ මනසා පරියත්‌තං 

මේ ශ්‍රී සද්ධර්මය බොහෝ ක්‍රමවලට විස්තර කරන්න පුළුවනි. මා විසින් මේ ධර්මය මගේ මනසින් යම්තාක් පුරුදු කළාද, මං දැන් ඒක සාරාංශ වශයෙන් කියන්නම්.

පාපං න කයිරා වචසා මනසා
කායේන වා කිඤ්‌චන සබ්‌බලෝකේ
කාමේ පහාය සතිමා සම්‌පජානෝ

දුක්‌ඛං න සේවේථ අනත්‌ථසංහිතන්‌ති

කයෙන් හරි, වචනයෙන් හරි, මනසින් හරි, හැමතැනදිම, කිසිම පවක් කරන්නෙ නෑ. කාමයන් අත්හැරලා, හොඳ සිහිනුවණින් යුතුව ඉන්නවා. අයහපත ඇතිකරන කිසි දුකක් පුරුදු කරන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

 

සතුල්‌ලපකායිකවග්‌ගෝ චතුත්‌ථෝ නිට්ඨිතෝ.

හතරවෙනි සතුල්ලපකායික වර්ගය අවසන් විය.

 

තත්‍රැද්‌දානං -

සබ්‌භි මච්‌ඡරිනා සාධු න සන්‌තුජ්‌ඣානසඤ්‌ඤිනෝ
සද්‌ධා සමයෝ සකලිකං උභෝ පජ්‌ජුන්‌නධීතරෝති