සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.5.1. ආදිත්ත සුත්තං

1.5.1. ගිනි ගැනීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ අඤ්‌ඤතරා දේවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි. ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. 

එදා එක්තරා දෙවියෙක් රැය පහන් වන වෙලාවේ, මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් සිටගත්තා. පැත්තකින් සිටගත්තු ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

ආදිත්‌තස්‌මිං අගාරස්‌මිං යං නීහරති භාජනං
තං තස්‌ස හෝති අත්‌ථාය නෝ ච යං තත්‌ථ ඩය්‌හති.

“ගෙයක් ගිනිගනිද්දී, ඒ ගෙදරින් යම් භාජනයක් බැහැරට ගත්තොත්, ඔහුට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ ගේ තුළ යමක් ගිනිගන්නවාද, ඒක ඔහුට ප්‍රයෝජනවත් වෙන්නෙ නැහැ.

ඒවමාදිපිතෝ ලෝකෝ ජරාය මරණේන ච
නීහරේථේව දානේන දින්‌නං හෝති සුනීහතං 

ඔන්න ඔය විදිහමයි, ජරාවෙනුත්, මරණයෙනුත් ගිනිගත්ත ලෝකය. ඒ නිසා දන් දීමෙන්මයි බැහැර කරන්න ඕන. දෙන ලද දේ මැනවින් බැහැර කරපු දෙයක්මයි.

දින්‌නං සුඛඵලං හෝති නාදින්‌නං හෝති තං තථා
චෝරා හරන්‌ති රාජානෝ අග්‌ගි ඩහති නස්‌සති 
අථ අන්‌තේන ජහති සරීරං සපරිග්‌ගහං

දීමෙන් ලැබෙන ඵලය සැපයයි. නොදීමෙන් එහෙම ලැබෙන්නෙ නෑ. නොදුන් දේ එක්කො හොරු ගන්නවා. එක්කො ආණ්ඩුව ගන්නවා. එක්කො ගින්නට අහුවෙනවා. එක්කො නැසිල යනවා. අන්තිමේදී, සැපසම්පත් එක්කම ශරීරයත් අත්හැරල දානවා.

ඒතදඤ්‌ඤාය මේධාවී භුඤ්‌ජේථ ච දදේථ ච
දත්‌වා ච භුත්‌වා ච යථානුභාවං
අනින්‌දිතෝ සග්‌ගමුපේති ඨානන්‌ති

මේ කාරණය අවබෝධ කරගන්න ප්‍රඥාවන්ත කෙනා තමාත් කන්න බොන්න ඕන. අනුන්ට දෙන්නත් ඕන. ශක්ති පමණින් දන් දීලා, අනුභව කරලා, නින්දා රහිත වූ ස්වර්ගයේ උපදිනවා.”

සාදු! සාදු!! සාදු!!!