සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.5.8. ජේතවන සුත්තං

1.5.8. ජේතවනාරාමය ගැන වදාළ දෙසුම

(අනාථපිණ්ඩික දෙවියා) :

ඉදඤ්‌හි තං ජේතවනං ඉසිසංඝනිසේවිතං
ආවුත්‌ථං ධම්‌මරාජේන පීතිසඤ්‌ජනනං මම

“හැම තිස්සේම රහතන් වහන්සේලා නම් වූ, සෘෂිවරුන් පිරිවරාගත්, ධර්මරාජයාණන් වහන්සේ වැඩසිටින මේ ජේතවනය දකින විට, මා තුළ ප්‍රීතියක්මයි හටගන්නෙ.

කම්‌මං විජ්‌ජා ච ධම්‌මෝ ච සීලං ජීවිතමුත්‌තමං
ඒතේන මච්‌චා සුජ්‌ඣන්‌ති න ගොත්‌තේන ධනේන වා

තමන්ගේ ක්‍රියාකලාප, ජීවිත අවබෝධය, සමාධිය, සිල්වත් බව, උතුම් ජීවිතය යන මේවයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුල ගෝත්‍රයෙන් වත්, සල්ලිවලින් වත් සත්වයන් පිරිසිදු වෙන්නේ නෑ.

තස්‌මා හි පණ්‌ඩිතෝ පෝසෝ සම්‌පස්‌සං අත්‌ථමත්‌තනෝ
යෝනිසෝ විචිනේ ධම්‌මං ඒවං තත්‌ථ විසුජ්‌ඣති

එම නිසා, බුද්ධිමත් මනුෂ්‍යයා තමන්ගේ ජීවිතය දියුණු කරගන්න හිතනවා නම්, නුවණින් යුක්තව, සද්ධර්මය රැස් කරගන්න ඕන. එතකොටයි ඔහු පිරිසිදු වෙන්නෙ.

සාරිපුත්‌තෝව පඤ්‌ඤාය සීලේනුපසමේන ච
යෝපි පාරගතෝ භික්‌ඛු ඒතාව පරමෝ සියා’ති 

ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිඳීමෙනුත් යම් භික්‍ෂුවක් ඒ අමා නිවන කරා ගියා නම්, ඒ භික්‍ෂුන් අතර උතුම්ම භික්‍ෂුව වන්නේ පින්වත් සාරිපුත්තයන් වහන්සේයි.”

සාදු! සාදු!! සාදු!!!