සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.5.9. මච්ඡරී සුත්තං

1.5.9. මසුරු පුද්ගලයා ගැන වදාළ දෙසුම

(දේවතා);
(දෙවියා) :

යේ’ධ මච්‌ඡරිනෝ ලෝකේ කදරියා පරිභාසකා
අඤ්‌ඤේසං දදමානානං අන්‌තරායකරා නරා

“මේ ලෝකෙ ඉන්නවා මසුරුකම් කරන උදවිය. එයාල හරිම ලෝභයි. අනුන්ට අපහාස කරනවා. දන් දෙන අයටත්, ඒ දන් දීම කරන්න දෙන්නෙ නෑ.

කීදිසෝ තේසං විපාකෝ සම්‌පරායෝ ච කීදිසෝ
භගවන්‌තං පුට්‌ඨුමාගම්‌ම කථං ජානේමු තං මයන්‌ති 

එවැනි උදවියට ලැබෙන විපාක මොනවාද? පරලොවදී මොකක් වේවිද? අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ ඒ කරුණ කොහොමද කියල දැනගන්නයි.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

යේ’ධ මච්‌ඡරිනෝ ලෝකේ කදරියා පරිභාසකා
අඤ්‌ඤේසං දදමානානං අන්‌තරායකරා නරා

“මේ ලෝකෙ මසුරුකම් කරන උදවිය ඉන්නව තමයි. එයාල හරිම ලෝභ තමයි. අනුන්ට අපහසත් කරනවා තමයි. දන් දෙන උදවියට ඒ දන් දීම කරන්න දෙන්නෙත් නෑ තමයි.

නිරයං තිරච්‌ඡානයෝනිං යමලෝකඤ්චුපපජ්‌ජරේ
සචේ එන්‌ති මනුස්‌සත්‌තං දළිද්‌දේ ජායරේ කුලේ
චෝළං පිණ්‌ඩෝ රතී ඛිඩ්ඩා යත්‌ථ කිච්‌ඡේන ලබ්‌භති    

ඉතින් ඒ උදවිය මැරුණට පස්සෙ නරකාදියෙ උපදිනවා. තිරිසන් යෝනියේ උපදිනවා. යම ලෝකෙට යනවා. ආයෙමත් මනුස්ස ලෝකෙ ඉපදුනොත්, ගොඩාක් දුප්පත් පවුල්වල තමයි උපදින්නෙ. එතකොට හරි හමං ඇඳුමක් නෑ. කෑම් බීම් නෑ. කිසි සතුටක් නෑ. දුකසේ තමයි ඉන්න වෙන්නෙ.

පරතෝ ආසිංසරේ බාලා තම්‌පි තේසං න ලබ්‌භති
දිට්‌ඨේ ධම්‌මේ ස විපාකෝ සම්‌පරායේ ච දුග්‌ගතීති 

ඒ උදවිය අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වුනත්, ඔවුන්ට ඒක ලැබෙන්නෙ නෑ. ඒක තමයි මෙලොවදී ලැබෙන විපාකය. පරලොවදී ලැබෙන්නෙත් දුකම තමයි.”

(දේවතා);
(දෙවියා) :

ඉතිහේතං විජානාම අඤ්‌ඤං පුච්‌ඡාම ගෝතම
යේ’ධ ලද්‌ධා මනුස්‌සත්‌තං වදඤ්‌ඤූ වීතමච්‌ඡරා
බුද්‌ධේ පසන්‌නා ධම්‌මේ ච සංඝේ ච තිබ්‌බගාරවා

“පින්වත් ගෞතමයන් වහන්ස, ඒ කාරණය අපි දැන් දැනගත්තා. වෙන කාරණයක් අහන්න කැමතියි. මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් ඉන්නවා. එයාගෙන් යමක් ඉල්ලන්න සුදුසුයි. එයා මසුරුමල නැතිකරපු කෙනෙක්. ඒ වගේම බුදු සමිඳුන් ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, සඟරුවන ගැනත්, ආදර ගෞරවයක් තියෙනවා.

කීදිසෝ තේසං විපාකෝ සම්‌පරායෝ ච කීදිසෝ
භගවන්‌තං පුට්‌ඨුමාගම්‌ම කථං ජානේමු තං මයන්‌ති 

ඉතින්, එබඳු කෙනෙකුට මොන වගේ විපාකද ලැබෙන්නෙ? පරලොවදී මොකක් වේවිද? අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ ඔය කරුණ දැනගන්නමයි.”

(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :

යේ’ධ ලද්‌ධා මනුස්‌සත්‌තං වදඤ්‌ඤූ වීතමච්‌ඡරා
බුද්‌ධේ පසන්‌නා ධම්‌මේ ච සංඝේ ච තිබ්‌බගාරවා
ඒතේ සග්ගේ පකාසෙන්‌ති යත්‌ථ තේ උපපජ්‌ජරේ

“යමෙක් මනුස්ස ජීවිතේ ලබාගත්තා නම්, එයාගෙන් යමක් ඉල්ලන්න සුදුසු නම්, එයා තුළ මසුරුමල නැත්නම්, ඒ වගේම එයා බුදු සමිදුන් ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, සඟරුවන ගැනත්, ආදරගෞරවයෙන් යුක්ත නම් ඒ වගේ අයට තමයි ස්වර්ගය තියෙන්නේ. ඔවුන් එහෙ උපදිනවා.

සචේ එන්‌ති මනුස්‌සත්‌තං අඩ්‌ඪේ ආජායරේ කුලේ
චෝළං පිණ්‌ඩෝ රතී ඛිඩ්ඩා යත්‌ථාකිච්‌ඡේන ලබ්‌භති 

ඉතින් ඔවුන් මනුස්ස ලෝකෙට ආපසු ආවොත්, සැපසම්පත් තියෙන, ලොකු පවුල්වල උපදිනවා. එතකොට ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, කෙළි සෙල්ලම්, හැමදෙයක්ම පහසුවෙන් ලැබෙනවා.

පරසම්‌භතේසු භෝගේසු වසවත්‌තීව මෝදරේ
දිට්‌ඨේ ධම්‌මේ සවිපාකෝ සම්‌පරායේ ච සුග්‌ගතීති 

අනුන් විසින් එකතු කරපු සැප සම්පත්වල අයිතිය ලැබෙන්නෙත් ඒ උදවියටමයි. ඒක තමයි මෙලොව ලැබෙන විපාකය. පරලොවදී සුගතිය ලැබෙනවා.”

සාදු! සාදු!! සාදු!!!